1 ඉඳල 19 වෙනකම් ව්‍යවස්ථා සංශෝධන වුණේ මෙහෙමයි

2016-05-18 01:42:00       610


විධායක ජනාධිපති ධුරය හේතුවෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහෝ වාද විවාදවලට ලක් වූ අතර එම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට මුල් වූයේ ආචාර්ය ඒ.ජේ. විල්සන්, ආචාර්ය සරත් කුරේ, මාක් ප්‍රනාන්දු, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බාල සොහොයුරු වූ එච්.ඩබ්ලිව්. ජයවර්ධන යන මහත්වරුන්ය. එසේ 1978 වර්ෂයේදී සම්මත කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2015 වර්ෂය වන විට 19 වතාවක් සංශෝධනය වී තිබිණි. මහනුවර සිට මහියංගණය බලා 18 වංගුව පාරෙන් ගමන් කරන අය වංගු 18 ගණන් කරන්නේ විනෝදයටය. නමුත් 1978 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වූ ආකාරය මෙසේ ඉදිරිපත් කරන්නේ විනෝදයට නොව රටක ඉතිහාසයේ ගමන්මඟ අධ්‍යයනය කිරීමටය.

1 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1978 වර්ෂයේ නොවැම්බර් මස 20 වැනි දින සිට මෙය ක්‍රියාත්මක විය. අභියාචනාධිකරණය සතුව පැවැති රිට් බලය යම්කිසි නීතියක් මඟින් ප්‍රතිපාදන සැලසුවහොත් ශේ‍ර්ෂ්ඨාධිකරණයටත් බලය පැවැත්විය හැකිය යන්න මෙමඟින් සිදුවිය. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හා මෙය බැඳී පවතී. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් 1978 අංක 07 දරන පනත අනුව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කෙරිණ. මෙහි වැඩ ආරම්භ කරන විට අධිකරණය ලබාදී තිබුණේ පනත අතීතයට බල නොපාන ආකාරයටය. එම නිසා 1970-77 කාලවල සිදුවූ සිදුවීම් විභාග කිරීමට ප්‍රතිපාදන නොමැති විය. මෙයින් විභාග කළ හැකිව තිබුණේ ඉදිරි කාලයට සිදුවන සිදුවීම් පමණකි. මේ නිසා එවකට පැවැති රජය 1978 නොවැම්බර් 22 වැනි දින විශේෂ විධිවිධාන පනතක් ගෙනැවිත් මෙම තීන්දුව අවලංගු කිරීමට කටයුතු කළ අතර 1978 පළමු ව්‍යවස්ථා සංශෝධනය 1978 නොවැම්බර් ක්‍රියාත්මක වන්නේ මෙම සිද්ධි දාමයේ ප්‍රතිඵලයක් හැටියටය.

2 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1979 වර්ෂයේ පෙබරවාරි 26 වැනිදා සිට මෙය ක්‍රියාත්මක විය. දෙවැනි සංශෝධනය සිදු වන්නේ පළමු සංශෝධනයෙන් මාස 3කට පමණ පසුය. යම්කිසි පක්ෂයක් නියෝජනය කරන මන්ත්‍රිවරයකුගේ ප්‍රතිභාව කිසියම් හේතුවක් නිසා අහෝසි වුවහොත් ඒ වෙනුවට පක්ෂයේ මහ ලේකම්වරයාට පුද්ගලයකු නම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම මීට අයත් විය. 1978දී සමානුපාතික ක්‍රමය හඳුන්වා දී තිබුණද ඒ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කළේ කොට්ඨාස ක්‍රමයට තේරී පත් වූ මන්ත්‍රිවරුන්ය. මන්ත්‍රිවරයකු වෙනුවට වෙන මන්ත්‍රිවරයකු පත් කිරීමට අදාළ දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයාට බලය පැවරීමේ ක්‍රියාදාමය බලගැන්වීම දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

3 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1982 වර්ෂයේ අගෝස්තු මස 27 වැනි දින ගෙන එන ලද 3 වැනි ව්‍යවස්ථා සංශෝධනයද බොහෝ කතාබහට ලක් වුණු සංශෝධනයකි. තමන්ගේ පළමු ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයකට යෑම සඳහා එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍ය විය. විධායක ජනාධිපති ධුරයට පත් වී වසර 4ක් ගත වූ පසුව නැවත ජනාධිපතිවරණයකට යා හැකි බව 3 වැනි සංශෝධනය මඟින් ගෙන එන ලදී. මෙහිදී දෙවැනි ධුර කාලය ආරම්භ වන්නේ කවදාද? කියා සඳහන් කර නොතිබුණු නිසා ඒ සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පසු කාලයේදී ඇති විය.

4 වැනි ව්‍යවස්ථා සංශෝධනය
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ පැවැති ආන්දෝලනාත්මක ජනමත විචාරණය කරළියට පැමිණෙන්නේ මේ සමඟය. ඇතැමුන් මෙය හැඳින්වූයේ ලාම්පු, කළගෙඩි සෙල්ලම කියාය. 1978 සිට ක්‍රියාත්මක වූ පළමුවැනි පාර්ලිමේන්තු ධුර කාලය අවසන් වීමට නියමිත තිබුණේ 1983 වර්ෂයේදීය. නමුත් ඊට වසරකට පෙර 1982 වර්ෂයේදී ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කෙරිණි. එමඟින් පාර්ලිමේන්තු කාලය 1989 අගෝස්තු 04 වැනිදා දක්වා දීර්ඝ කර ගැනීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියා කළේය. මෙම ක්‍රියාවලිය සිදු කිරීම සඳහා සිවු වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අතර 1982 වර්ෂයේ දෙසැම්බර් 23 වැනිදා සිට එය බලපැවැත්විණි.

5 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1983 පෙබරවාරි 25 වැනි දින සිට බලපැවැත්වෙන මෙය ජනමත විචාරණය හා සම්බන්ධ වූවකි. 1979 වර්ෂයේදී ඉදිරිපත් කෙරුණු 2 වැනි සංශෝධනයෙන් කියැවුණේ මන්ත්‍රිභාවය අහෝසි වන විට ඒ සඳහා සුදුසු කෙනකු පක්ෂයේ ලේකම්වරයාට පත් කිරීමට හැකි වීමය. පස් වැනි සංශෝධනයෙන් සිදු කළේ එසේ නම් නොකරන අවස්ථාවලදී අතුරු මැතිවරණයකට යෑමට ප්‍රතිපාදන සැලසීමයි. 1982 ජනමත විචාරණයෙන් ආණ්ඩුව පැරැදුණු ආසන සඳහා පක්ෂ ලේකම්වරයා අලුත් මන්ත්‍රිවරුන් පත් නොකළේය. එම නිසා ඒ ආසනවල අතුරු මැතිවරණ පැවැත්වීමට තීරණය කෙරිණි. ජනමත විචාරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට නැඟුණු හඬ යම් ආකාරයකින් සංසිඳවීමට කළ ක්‍රියාවක් වශයෙන් මෙය හැඳින්වූ අවස්ථාද ඇත.

6 වැනි ව්‍යවස්ථා සංශෝධනය
මෙය ක්‍රියාත්මක වූයේ 1983 වර්ෂයේ අගෝස්තු 08 වැනිදා සිටය. බෙදුම්වාදයට ත්‍රස්තවාදයට පක්ෂ නොවන බවටත්, රට බෙදීමට හවුල් නොවන බවටත් සෑම මන්ත්‍රිවරයකුම සෑම රාජ්‍ය නිලධාරියකුම රජයට සහතික වීම සඳහා මෙම සංශෝධනය ගෙන එන ලදී. 1983 ජූලි කලබලවලින් පසුව ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව නිසියාකාරයෙන් ආණ්ඩුව මුහුණ නොදුන් බවට එල්ල වන චෝදනාව සැලකිල්ලට ගෙන මෙම සංශෝධනය ගෙන එන ලදී. රට නොබෙදන ප්‍රතිඥාව ලබාදීමට අකැමැති වූ නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කළේය. මේ අනුව විපක්ෂ නායක අමිර්තලිංගම් මහතාද පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් වීමයි.

7 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1983 වර්ෂයේ ඔක්තෝබර් 04 වැනි දින සිට මෙය ක්‍රියාත්මක විය. මෙම සංශෝධනය හුදෙක් දේශපාලන මුහුණුවරක් නොගත්තද මෙමඟින් සිදු කෙරුණේ කිලිනොච්චිය වෙනමම පරිපාලන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමයි. ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 25 දක්වා ඉහළ යන අතර මෙරට මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමද මෙම සංශෝධනයෙන් සිදුවේ.

8 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1984 වර්ෂයේ මාර්තු මස 06 වැනිදා මෙම සංශෝධනය ඉදිරිපත් වන්නේ ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළ විධිවිධාන සම්පාදනය කිරීමටය.

9 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1984 වර්ෂයේ අගෝස්තු මස 24 වැනිදා සිට මෙය බලපැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන විධිවිධානයන් මීට ඇතුළත් වන අතර ඊට අදාළ වන පරිදි රජයේ සේවකයකුගේ හෝ රජයේ සංස්ථාවක නිලධාරිවරයකුගේ වැටුප් තල පිළිබඳව තිබුණු සඳහන සංශෝධනය කිරීම මෙමඟින් සිදු කෙරිණි.

10 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1986 වර්ෂයේ අගෝස්තු මස 06 වැනි දින බලාත්මක වූ මෙමඟින් සිදු කළේ හදිසි නීතිය දීර්ඝ කිරීම සඳහා වන සංශෝධනයකට අනුමැතිය ලබා ගැනීමය. හදිසි නීතිය දින 90කට වඩා දීර්ඝ කරනවා නම් ඊට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක අනුමැතිය අවශ්‍යව තිබිණි. 10 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කළේ මේ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් අවශ්‍ය යැයි යන වගන්තිය ඉවත් කිරීමයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් හදිසි නීතිය දීර්ඝ කිරීමට හැකි වූ අතර මෙයද දැඩි විවාදයට ඒ කාලයේදී ලක් විය.

11 වැනි ව්‍යවස්ථා සංශෝධනය
මෙය ක්‍රියාත්මක කෙරුණේ 1987 මැයි 06 වැනිදාය. මෙමඟින් මහාධිකරණවලට බලතල තවත් වැඩි කෙරිණ. මේ නිසා මහාධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනා විභාග කිරීමට අභියාචනාධිකරණ විනිසුරුවන් දෙදෙනකු සිටිය යුතු බවටද මෙම සංශෝධනයෙන් තීරණය කෙරිණ.

12 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1987 වර්ෂයේ සැප්තැම්බර් 25 දින මෙය ඉදිරිපත් කෙරුණු අතර මෙය නීතියක් වශයෙන් සම්මත නොවූ නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද බලපෑමක් නොවීය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1987 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනිදා සිට මෙය බලාත්මක කෙරිණ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිරන්තරයෙන් කතා කෙරෙන ඉතාම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වූයේ පළාත් සභා බලාත්මක කිරීම නිසාය. මෙය දිගු මෙන්ම සංකීර්ණ වගන්තියක් බවටද මේ නිසා පත්ව ඇත. ඉංගී්‍රසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් (ඹ්ධ්ව්ම් ඹ්ඒව්ට්උඒට්ඡ්) වශයෙන් පිළිගැනීමද මෙමඟින් සිදු විය.
පරිපාලනමය වශයෙන් බලය බෙදීමක්ද මෙමඟින් සිදු කෙරුණු අතර මධ්‍යම රජයට පමණක් පවතින බලතල, පළාත් සභාවලට පමණක් පවතින බලතල, මධ්‍යම රජයට හා පළාත් සභාවලට හවුලේ තබාගත හැකි බලතල වශයෙන් එම බලය බෙදීම සිදු කෙරිණ.

14 වැනි ව්‍යවස්ථා සංශෝධනය
මෙය ක්‍රියාත්මක වූයේ 1988 වර්ෂයේ මැයි 24 වැනිදා සිටය. මැතිවරණ සීමා යළි නිර්ණය කිරීමට මෙමඟින් කොමිසමක් පත් කිරීමට කටයුතු කෙරිණ. ඒ වගේම සමානුපාතික නියෝජනයෙන් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකක්වත් හිමි කර ගැනීමට අසමත් වූ පක්ෂවලට මන්ත්‍රි ධුර හිමි නොවන බව මෙයින් ප්‍රකාශ විය.

15 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1988 දෙසැම්බර් මස 17 වැනිදා සිට බලපැවැත්වෙන මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදු වූයේ 14 වැනි සංශෝධනයෙන් මීට පෙර ගෙන එනු ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකක් යන වගන්තිය ඉවත් කර ඒ වෙනුවට විස්සෙන් එකක් ලෙස සංශෝධනය කිරීමයි.

16 වැනි ව්‍යවස්ථා සංශෝධනය
1988 වර්ෂයේ දෙසැම්බර් 17 වැනිදා සිට බලපැවැත්වුණු මෙමඟින් සිදුවූයේ, ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවගේ භාෂා අයිතිය තහවුරු වීමයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පරිපාලන කටයුතු සඳහා ද්‍රවිඩ භාෂාව භාවිත කිරීමට මෙමඟින් ඉඩ සැලසුණි. එසේම එම ප්‍රදේශවල අධිකරණ සඳහාද එම අවස්ථාව හිමි විය. මීට අමතරව පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කිරීමේදී සිංහල මෙන්ම ද්‍රවිඩ භාෂාවෙනුත් ඉදිරිපත් කිරීමට මෙම සංශෝධනයෙන් ඉඩ සැලසුණි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය
මෙය ක්‍රියාත්මක වූයේ 2001 වර්ෂයේ ඔක්තෝබර් 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් සවිමත් කිරීමේ අරමුණෙන් ව්‍යවස්ථාදායක සභාවක් පත් කර ඒ යටතේ ස්වාධීන කොමිෂන් සභා 07ක් පිහිටුවීම මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු විය.

1. මැතිවරණ කොමිසම
2. රාජ්‍ය සේවා කොමිසම
3. ජාතික පොලිස් කොමිසම
4. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
5. අල්ලස් හෝ දූෂණ සෙවීමේ කොමිසම
6. මුදල් කොමිසම
7. සීමා නිර්ණය කිරීමේ කොමිසම
මෙම සංශෝධනයට විරුද්ධ වූයේ එක් මන්ත්‍රිවරයකු පමණි. 208 දෙනෙක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්කෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණි. 15 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණියහ.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය
මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ 2010 වර්ෂයේ සැප්තැම්බර් 08 වැනිදාය. ජනාධිපතිවරයාට විධායක ජනාධිපතිවරයකු වීමට තිබුණු අවස්ථා දෙකේ සීමාව මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කෙරිණ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කළ ස්වාධීන කොමිෂන් සභා වෙනුවට පස් දෙනකුගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කවුන්සිලයක්ද ඒ යටතේ කොමිෂන් සභාද පිහිටුවීමට මෙමඟින් යෝජනා විය.
මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 161ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 17ක් පමණි. ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 46කි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය
විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමේ අරමුණෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වන්නේ 2015 අප්‍රේල් 28 වැනිදාය.
පක්ෂව ඡන්ද 212ක් ලැබුණු අතර විරුද්ධ වූයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පමණි. තවත් මන්ත්‍රිවරයකු ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ඡන්දය ප්‍රකාශ නොකිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 10කි.

curtesy : hallosl.com


More News »