ද්විත්ව පුරවැසි පටලැවිලි

2017-05-24 01:21:00       676


ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ආන්දෝලනාත්මක සිදුවීම් සහ කතා දැන් ප‍්‍රධාන මාධ්‍යයෙහි ප‍්‍රධාන තැනක් ගන්නා විෂයයකි. ශ්‍රී ලාංකීය පුරවැසියකුට ඔහුගේ හෝ ඇයගේ මෙරට පුරවැසිභාවය වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් අහෝසි වන්නේ 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 සහ 21 යන වගන්ති අනුවය.

එලෙසින් අහිමිවන ශ්‍රී ලාංකීය පුරවැසිබව නැවත ලබාගැනීමට හෝ අවසන් නොවී පවත්වා ගැනීමට අවසර ලැබෙන්නේ එම පනතේම 19(2) සහ 19(3) යන වගන්ති යටතේය. එම පුරවැසි පනතේ විධිවිධාන තවමත් අහෝසි කර නැත. එනිසා ද්විත්ව පුරවැසිභාවය සතු කිසිවකුට ඔවුන්ගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමිවීමක් හෝ යළි පුරවැසි බව ලබාගැනීමට බාධාවක් හෝ සීමාවක් හෝ තවම නැත.

එහෙත් පසුගිය මැයි 3 වන දින අභියාචනාධිකරණය විසින් පොදුජන එක්සත් පෙරමුණ ගාලූ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පත්වීම අහෝසි කරමින් සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ඇයගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කළ යුතු බවට මැතිවරණ කොමසාරිස් වෙත මැයි 8 වන දින දන්වා තිබිණි.

මේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත. එය විභාගයට ගෙන අවසන් තීන්දුවක් ප‍්‍රකාශයට පත්කරන තෙක් මැයි 15 දින දක්වා අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලිකව දෙනු ලැබූ තීන්දුව පෙත්සම් විභාගය අවසන් වනතුරු එදිනම දීර්ඝ කරන ලදී.

අභියාචනාධිකරණ තීන්දුව මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගණනාවකගේ මන්ත‍්‍රී ධුර පත්වීම් අවදානමකට ලක් කරන්නේ යැයි දැන් පුවත් මැවෙන්නේය. එසේ වන්නේ ගීතා කුමාරසිංහගේ පත්වීම අධිකරණය හමුවේ අභියෝග කළාක් මෙන් ඔවුන්ට විරුද්ධවද පෙත්සම් ඉදිරිපත් වුවහොත් පමණක් යැයි නීති තර්කයක් ඇත. ඉන් අදහස් වන්නේ ද්විත්ව පුරවැසිභාවය මත මන්ත‍්‍රී ධුරය අහිමි කෙරෙන්නේ පෞද්ගලික තේරීම් අනුව පමණක් බවය. ඒ තේරීම් බොහෝ විට දේශපාලන තේරීම් විය හැක.

ඒ අතර ඉන් එහාට යන නීති ගැටලූද දැන් මතු කෙරෙන්නේය. මීට ඉහතින් නාම යෝජනා පත‍්‍රයේ එක් අපේක්‍ෂකයෙකු නුසුදුස්සකු වීමෙන් සම්පූර්ණ ලැයිස්තුව අවලංගු කෙරුණු අවස්ථා ඇත. එහෙයින් ගීතා කුමාරසිංහගේ නාමයෝජනාව ව්‍යවස්ථාවට පටහැනි වන විට, ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇයගේ නම ඇතුළත්වූ පොදුජන එක්සත් පෙරමුණු නාම යෝජනා ලේඛනයම අහෝසි විය යුතුය. ඊළඟට එවැනිම විරෝධයක් ගොනු කෙරුණු මාතර දිස්ත‍්‍රික්කයේද පොදුජන එක්සත් පෙරමුණු නාම යෝජනා ලැයිස්තු අහෝසි විය යුතු යැයි දැන් තර්ක මතුව ඇත. එනමුත් එවැන්නක් අභියාචනාධිකරණය විසින් සිය තීන්දුවෙහි සඳහන් කර නැත.

එවැන්නක් ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය අභියෝග කෙරුණු පෙත්සමෙන් ඉල්ලා සිටියේද නැත. එබැවින් සමස්ත නාම යෝජනා ලේඛනයම අහෝසි කරන්න යැයි අධිකරණය හමුවේ කවරෙකුට හෝ නැවතත් පෙත්සමක් ගොනු කරන්නට සිදුවන්නේය. කෙසේ නමුත් එවැනි නෛතික පටලැවිලි ගණනාවක් දැන් ප‍්‍රසිද්ධ සාකච්ඡාවට පැමිණ ඇත.

මෙය හුදෙක් නීති ප‍්‍රශ්නයක් පමණක් නොවේ. මෙහි යහපාලන ආණ්ඩුවේ වුවමනාවන සමඟ ජ.වි.පෙ. ද හවුල්වී සම්මුති ගැසූ පැහැදිලි දේශපාලනයක්ද ඇත. මෙලෙස ද්විත්ව පුරවැසිභාවය හේතු කරගෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි කෙරෙන්නේ ‘‘දින 100’’ යේ යහපාලන ආණ්ඩුව මගින්ය. ඔවුහු 2015 මැයි මාසයේ 15 වන දින පුදුමාකාර හදිසියකින් 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්හ.

පොරොන්දු ප‍්‍රකාර දින 100 ඇතුළත පැවැත්විය නොහැකි වන මහ මැතිවරණය අගෝස්තුවේදී පවත්වා ඔවුන්ගේ අලූත් ආණ්ඩුව හැදීමේ හදිසිය දේශපාලන ජනප‍්‍රියත්වය මත වූ හදිසියකි. ද්විත්ව පුරවැසිභාවයට අදාළ සීමා 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිපාදනයක් යටතේ පැනවෙන්නේ ඒ පාර්ලිමේන්තු මැතිවරණය දෙස බලාගෙනය. එනිසා ජනාධිපතිවරණ ගැන එහි සඳහන් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව යටතේ වන අනු ව්‍යවස්ථා ඒ අනුව පාර්ලිමේන්තුවට අදාළව සංශෝධනය කරනු ලැබිණි. ‘‘(XIII) වෙනත් රටක ද පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු’යැයි අලූතින් එකතු කළ වර්ගීකරණය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා නාමයෝජනා දීම හා පාර්ලිමේන්තු කාර්යන්හිදී ඡන්දය දීම ද්විත්ව පුරවැසිභාවය ලැබූවන්ට අහෝසි කෙරෙන්නේය.

එය එසේ වුවත් ද්විත්ව පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකීය පුරවැසියනට ඡන්ද ලේඛනයට තම නම ඇතුළු කිරීමේ අයිතිය ඇත. ඒ අනුව, ඔවුන්ට ඔවුන්ගේ අභිමතය අනුව ඡන්දය දිය හැකිය. ඒවගේම ඔවුන්ට මැතිවරණ ව්‍යාපාරවල නිරත වන්නටද පුළුවන. ඔවුන් ඍජුව මැතිවරණ ව්‍යාපාරවලට සහභාගී වූයේ යැයි තේරී පත්වන කිසිදු මන්ත‍්‍රීවරයකුගේ මන්ත‍්‍රී ධුරය හෝ ජනාධිපතිවරයකුගේ ජනාධිපති ධුරය අහෝසි වන්නේද නැත. ඒවගේම ඔවුන්ට පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා සඳහා තරග වැදීමටත් ඒවායේ තනතුරු දැරීමටත් ඇති අයිතියද එලෙසින්මය.

එබැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ඔවුන්ට පාර්ලිමේන්තුව පමණක් අහිමි කිරීමේ අරමුණ කුමක් විය හැකිද? ලාංකීය ආර්ථිකයේ අතිශය වැදගත් හා ප‍්‍රධානම තනතුරක් වන්නේ මහ බැංකු අධිපති ධුරය ය. මේ වික‍්‍රමසිංහ ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය තබා ශ්‍රී ලාංකීය පුරවැසිභාවයද   නොමැත්තෙකු එම තනතුරට පත් කළේය. එවැනි ආණ්ඩුවක නායකයන් ද්විත්ව පුරවැසිභාවය ලැබූවන්ට පාර්ලිමේන්තුව අහිමි කිරීම සාධාරණය කරන්නේ කෙසේදැයි ඇසිය යුත්තකි. වාමගාමී රාජපක්‍ෂ විරෝධීහූ පසුගිය කාලයේ සිරිසේන රනිල් ආණ්ඩුව වෙනුවෙන් එය සාධාරණය කරන්නට උත්සාහ ගත්හ. වෙනත් රටක පුරවැසිභාවය ඇත්තන් ක‍්‍රියාකරන්නේ මේ රට ගැන කැක්කුමක් වුවමනාවක් ඇතිව නොවේ යැයි ඔවුහු කීහ. එනිසා එවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු යැයි තර්ක කළහ.

එය අතිශය බොල්, මෝඩ තර්කයකි. පළමු කාරණාව නම්, විශේෂයෙන් ඇමෙරිකාවේ පුරවැසි ක‍්‍රම දෙකක් ඇත. එකක් සාමාන්‍ය ඇමෙරිකානුවකුට හිමි සියලූ වරප‍්‍රසාද, අයිතීන් සමගින් ඡන්ද බලයද සහිත පූර්ණ පුරවැසිභාවයයි. දෙවැන්න ‘‘ග‍්‍රීන් කාඩ්’ ක‍්‍රමයයි. එය පුරවැසිභාවයක් යැයි නොසැලකෙන්නේය. ඔවුන්ට මිය යන තුරු ඇමෙරිකාවේ සමාජ ආර්ථික වාසි සමගින් පදිංචි වීමේ අයිතිය ඇත. ඇමෙරිකානු ‘‘ග‍්‍රීන් කාඩ්’’ හිමිකරුවන්ට එනමුත් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි නොවේ. ඔවුන්ට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අදාළ නැත. එහෙත් සිතුම් පැතුම් අනුව ඒ දෙකොටසම එකය. මේ පොදු කාරණය ද්විත්ව පුරවැසිභාවය හිමිවුවන්ට පාර්ලිමේන්තුව අහෝසි කිරීම සාධාරණය කරන්නෝ දැනුවත්ව අමතක කරති.

අනෙක නම්, නිදහසින් පසු හැම ආණ්ඩුවේම නායකයන් වූයේ ශ්‍රී ලාංකික පුරවැසියන් පමණි. ඔවුන් අතුරින් විශේෂයෙන් 1978න් පසු බලයට ආ ආණ්ඩු නායකයන්ට මෙන්ම මේ ආණ්ඩුවේ නායකයන්ට, විවෘත වෙළෙඳපළක් නඩත්තු කරමින් කෝටි ගණන් හොරකම් කරන්නේ යැයි චෝදනා කෙරෙන්නේය. ශ්‍රී ලාංකීය පුරවැසියන් එසේ නම් පාර්ලිමේන්තුවේ තීන්දු ගන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නොවේ. එය රටේ දේශපාලන ප‍්‍රශ්නයක් යැයි උත්තර දී යා හැක. එහෙත් ඉන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව කෙරෙන චෝදනාවට පිළිතුරු ලැබෙන්නේ නැත.

එවගේම එවැන්නෙකුට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක නායකයකු විය නොහැකි යැයි කොතැනකවත් ලියා නැත. එවැනි විටෙක, ඒ පක්‍ෂයට රට පාලනය කරන්නේ ද්විත්ව පුරවැසිභාවය හිමි තම පක්‍ෂ නායකයාගේ බලපෑමෙන් තොරව යැයි කිසිවකුට තර්ක කළ නොහැක. එසේ නොවුනත් පාර්ලිමේන්තුවේ ගන්නා තීන්දු පූර්වයෙන් තීන්දු වන්නේ ආණ්ඩු පක්‍ෂයේ ඉහළම නායක කල්ලියේ අභිමතය අනුව බැව් අලූතෙන් කිව යුතු නොවේ. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ඇත්තන් විසින් රටේ තීන්දු වෙත කෙරෙන බලපෑම් මන්ත‍්‍රී ධුර අහෝසි කිරීමෙන් නතර කළ නොහැක. එය නතර කර ගැනීමට නම්, ඔවුන් සියලූ දේශපාලන           ක‍්‍රියාකාරීත්වයන්ගෙන් ඉවත් කළ යුතුව ඇත. ඇත්තම කතාව නම්, එසේ ඉවත් කළද මේ ගෝලීය වෙළඳපළ ආර්ථිකයෙහි එහි කිසිදු අරුතක් නැත. අපේ වැනි රටවල තීන්දු වෙත පිටතින් කෙරෙන බලපෑම් විවෘත වෙළෙඳපොළ ආර්ථික පැවැත්ම තුළ නතර කළ නොහැකි බැවිනි.

මහ බලවතුන් දෙපළක් වන ඇමෙරිකාව හා සෝවියට් යුගයේ සිට රුසියාව, 1946 සිට 2000 දක්වා වෙනත් රටවල මැතිවරණ තීන්දු වෙනස් කිරීමට මැදිහත්ව ඇත. ඒ පිළිබඳ පර්යේෂණාත්මක ලියැවිල්ලක් පසුගිය 2016 සැප්තැම්බරයේ දී ප‍්‍රකාශයට පත්කරනු ලැබිණ. කානගීමෙලන් විශ්වවිද්‍යාලයේ දේශපාලන හා උපායික සැලසුම් අධ්‍යයන අංශයේ දේශපාලන විද්‍යා පශ්චාත් උපාධිධරයකු වන ඩබ්. එච්. ලෙවින් විසින් ඇමෙරිකානු රහස්‍ය ලේඛන හා අනෙක් රටවල එවැනි ලිපි ලේඛන ඇසුරෙන් එම පර්යේෂණය කරනු ලැබ ඇත. ඒ අනුව ඇමෙරිකා රටවල් 45ක අවසන් මැතිවරණ තීන්දු වෙනස් කිරීමට විවිධාකාරයෙන් 91ක් වරක් මැදිහත්ව ඇත. එලෙසින්ම රුසියාව වෙනත් රටවල මැතිවරණ ප‍්‍රතිඵල වෙනස් කිරීමට 31 වරක් මැදිහත්ව ඇත. ඒ වෙනුවෙන් මේ බලවතුන් දෙපළම විවිධ ආයතන හරහා මුදල් වැය කිරීම්, පවතින ආණ්ඩුව ආර්ථික වශයෙන් අසීරුවට පත්කිරීම්, හමුදා කුමන්ත‍්‍රණ සඳහා උපකාර කිරීම්, සන්නද්ධ කල්ලි ආරම්භ කිරීම හා ඒවාට උපකාර කිරීම් වැනි බොහෝ දේ කර ඇත. මැතිවරණ ඔස්සේ ඔවුන්ට මනාප ආණ්ඩු පිහිටුවන්නට ඇමෙරිකාව මැදිහත්වූ රටවල් අතර ආසියානු කලාපයේ කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, ලා ඕසය, මැලේසියාව, නේපාලය, පිලිපීනය සමඟ ශ්‍රී ලංකාවද ඇත.

ලංකාවේ ආණ්ඩු මාරු කිරීමේදී ඉන්දීය සාධකයද වැදගත් සාධකයක් වූවකි. 2002 පෙබරවාරියේදී එල්.ටී.ටී.ඊ. ය සමඟ අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුම හා සාම සාකච්ඡා හේතුවෙන් ඉන්දීය ආණ්ඩුව සිටියේ ඉමහත් නොසතුටිනි. සාම ක‍්‍රියාවලිය වෙනුවෙන් කැඳවනු ලැබූ ශ්‍රී ලංකා ආධාරක කණ්ඩායම් රැස්වීම පවා ඔවුහු ප‍්‍රතික්ෂේප කළහ. සාම ක‍්‍රියාවලියට ඉතා දැඩිව විරුද්ධ වූ සහ උත්පත්තියෙන්ම ඉන්දීය විරෝධීන්වන ජ.වි.පෙ. ඉන්දියානු මහ කොමසාරිස්ගේ ඉන්දියා හවුස් නිල නිවසට ගොඩ වන්නට වූයේත් එකලය. ඉන්දියාවද 2004 ආණ්ඩු වෙනසක් වෙනුවෙන් රාජ්‍ය තාන්ත‍්‍රික සහ රහස්‍ය මැදිහත්වීම් කළ බවට එකල චෝදනා නැගිණ.

ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තැබීම එබැවින් අර්ථ විරහිත පියවරකි. රටක් ජනතාවක් වශයෙන් ඉන් ලැබිය හැකි කිසිදු විශේෂ වාසියක් නැත. වාසියක් ඇතොත් ඒ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ අතර බල තරගයේදී පුද්ගල වාසි මත බල තුලනය හැසිරවිය හැකියැයි තබන්නාවූ බලාපොරොත්තුව පමණි.

මේ ආණ්ඩුවේ නායකයන් 2015 අගෝස්තු මහ මැතිවරණයට පෙර 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පුරවැසිභාවය සම්බන්ධ එම සීමා පැනවීමට හදිසි වූයේ එවැනි පටු වාසි ලැබීමේ අරමුණින්ය. එසේ කිරීමෙන් ඔවුන් සිදුකර ඇත්තේ අනවශ්‍ය ව්‍යවස්ථාමය පටලැවිලි රට හමුවේ තැබීම පමණි. ඒවා කෙසේ විසඳන්නේද යන්න ගැන හෝ ඔවුන්ට දැන් උනන්දුවක් නැති සෙයකි. එය විසඳීමේ පහසුම පියවර වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සීමා ඉවත් කෙරෙන අලූත් සංශෝධනයක් ගෙන ඒ මගින්ය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »