තනිකඩයෙකු කසාද බැඳි ආච්චි

2017-09-22 10:30:00       86


විවිධ වර්ගයේ මාර්ග අනතුරු ඇත. මෝටර් වාහන පනතේ “අනතුර” අර්ථ නිරූපණය කර ඇත්තේ: ‘අනතුර’ යන්නෙන් - (අ) මාර්ගයක, වීදියක හෝ පොදු ප්‍රවාහනයට විවෘත වූ වෙනත් යම් ස්ථානයක සිදුවන හෝ ඇතිවන, (ආ) පුද්ගලයන් එක් අයෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් මියයන හෝ ඔවුන්ට තුවාල සිදුවන හෝ දේපළවලට අලාභහානි සිදුවන, (ඇ) අවම වශයෙන් ධාවනය වන එක් වාහනයක් හෝ සම්බන්ධ වී ඇති සහ වාහන අතර, වාහන සහ මගීන් අතර සහ වාහන සහ සතුන් අතර හෝ වාහන සහ ස්ථාවර වස්තූන් අතර ගැටීම් ඇති වී ඇති සහ එක් වාහනයක් පමණක් අදාළ වී ඇති වාහන, අනතුරු ද අදහස් වේ” යනුවෙනි. වරද වනුයේ, මෝටර් වාහන පනතට අනුව, “අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම” යි. ඉහත නිරූපිත යම් අවස්ථාවක් යටතේ මරණයක් සිදුවුවහොත් එය මාරක රිය අනතුරක් වශයෙන් හැඳින්වේ. කෙසේ වෙතත් අනතුර මාරක වුව ද එය මාරක රිය අනතුරක් වීමට සුදුසුකම් ලැබීමට යම් අංගයන් සම්පූර්ණ වීමේ අවශ්‍යතාවයක් මෝටර් වාහන පනත දක්වයි. එකී පනතට අනුව මියයාම මෙසේ අර්ථ නිරූපණය කරයි: “මියයෑම” යන්නෙන්, යම් වාහන අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් එම ස්ථානයේ දී ම යම් තැනැත්තෙකු මියයෑම හෝ එම අනතුරේ ප්‍රතිඵලයක් වශයෙන් වාහන අනතුර සිදු වී දින තිහක් ඇතුළත මියයෑම අදහස් වේ”!
පැහැදිලිව ම මෙය සංකීර්ණ තත්ත්වයකි. යම් පුද්ගලයකු මාර්ග අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් තුවාල ලබා සිහි නොමැතිව සිට දින තිහකට පසු මියයයි නම් අදාළ වගකිව යුතු සෑම අංශයකට ම එය උභතෝකෝටික ප්‍රශ්නයක් වනු නොඅනුමාන ය: චෝදකයන්ට ගෙන ආ යුත‍්තේ කුමන චෝදනාවක් ද යන්න, විනිසුරුවරුන්ට ගත යුත්තේ කුමන තීරණයක් ද යන්න සහ චුදිතයින්ට සැකසිය යුත්තේ කුමන විත්ති වාචකයක් ද යන්න? ඇත්ත වශයෙන් ම, එසේ නම්, නීතිය නිදැල්ලේ ය...
සියාතු මියගියේ ඔහුගේ 98 වැනි උපන් දිනයට දිනකට පෙර සහ ඔහු දින 29කට ඇඳට සීමා කළ මාර්ග අනතුරු සිදු වී දින තිහක් සම්පූර්ණ වීමට දිනකට පෙර ය . පොලීසිය විසින් තොරතුරු වාර්තා කළ විට, වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වූ කරුණාරත්න බණ්ඩා මහතා මියගිය අයට පූර්ණ ගෞරවප්‍රකාරව පවසා සිටියේ “ඉතින් ඔහු මියගියා” යනුවෙනි. “යාන්තම්” යන වචනය එකතු නොකළ ද සැනසුම් සුසුමක් හෙළූ බව නම් නොරහසකි.
මරණය විනෝදාශ්වාදයට හේතුවක් නොවේ, එහෙත් සමහර අවස්ථාවල විවිධාකාර වාතාවරණයන් හි විනෝදය ගැබ් වී ඇත.
දැන් චුදිතයකු වශයෙන් ඉදිරිපත් වන රියදුරු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබූ අතර චෝදක පක්ෂය වෙනුවෙන් පොලිස් සැරයන්වරයකු පෙනී සිටියේ ය. කරුණාරත්න බණ්ඩා මහතා ඔහුගේ සුපුරුදු හමුදා විලාශයෙන් සැරයන්වරයාගෙන් අසා සිටියේ: “මියගිය අය තව දින දෙකක් ජීවත් වුණා නම් එහෙනම් තත්ත්වෙ මොකක් ද?”
පොලිස් සැරයන්වරයා: “මට නිශ්චිතව කියන්න බැහැ, ස්වාමිනී, මා තවම එවැනි අවස්ථාවකට මුහුණ දී නැහැ.”
චුදිතගේ නීතිඥ: “සමහරවිටක මගේ සේවාදායකයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ අපරික්ෂාකාරී ක්‍රියාවකින් මරණයක් සිදුකළා කියා චෝදනා එල්ල කරන්න තිබුණා.”
කරුණාරත්න බණ්ඩා මහතා: “ඒක සිදු වෙයි, මියගිය අය මියගියේ දින තිහක් ඇතුළත වුණත් නැතත්.” (සිනා)
චුදිතගේ නීතිඥ (කනස්සල්ලෙන් මෙන්): “මටත් හිතුණා.” (සිනා)
කරුණාරත්න බණ්ඩා මහතා: “මට දැනගන්න ඕනෑ වුණේ මෝටර් වාහන පනත සම්බන්ධයෙන් උද්ගත වන තත්ත්වය.”
පොලිස් සැරයන්වරයා: “අපි සාමාන්‍ය මාරක අනතුරකට අදාළ චෝදනා ගොනු කරල ඇති.”
කරුණාරත්න බණ්ඩා මහතා: “ඔව්, මම හිතන්නේ නැහැ මරණයට දෙන ‘නමට’ විත්තියෙන් අභියෝග කරයි කියලා. අහේතුව සැකකරුට විරුද්ධව එයට වඩා බරපතළ චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්.
චුදිතගේ නීතිඥ: “නමුත් ප්‍රශ්නය වන්නේ තුන්වැනි පාර්ශ්ව රක්ෂණය මියගිය අයගේ පවුලේ අයට ගෙවීම සම්බන්ධයෙන් රක්ෂණ සමාගම ගන්නා ස්ථාවරය යි. ඔවුන්ට ගෙවීම මඟහරින්න වුවමනා නම්, තර්කයක් ගෙන එන්න පුළුවන් මරණය සිදු වුණේ මාරක රිය අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ කියලා.”
කරුණාරත්න බණ්ඩා මහතා: “මාරක රිය අනතුරකට මාරක අපලයක්.” (සිනා)
චුදිතගේ නීතිඥ: “මාරක අපලේ ජීවත් වෙන අයටයි.”
කරුණාරත්න බණ්ඩා මහතා: “මියගිය අය හඳුනා ගැනීම සම්බන්ධයෙන් කව්ද ඉන්නේ?”
පොලිස් සැරයන්වරයා: “මියගිය අයගේ මුනුපුරෙක් ඉන්නවා, ස්වාමිනී.”
කරුණාරත්න බණ්ඩා මහතා: මියගිය අයට ළමයි කී දෙනෙක් ඉන්නවා ද?
පොලිස් සැරයන්වරයා: “දොළහයි සහ මුනුපුරෝ මිනිපිරියෝ සීයක් විතර.” (සිනා)
කරුණාරත්න බණ්ඩා මහතා: “හොඳ ඉනිමක්!” (සිනා)
චුදිතගේ නීතිඥ: “රක්ෂණ මුදල් ඒ සියල්ල අතරේ සමසමව බෙදෙන්නත් එපායැ.” (සිනා)
කරුණාරත්න බණ්ඩා මහතා: “රක්ෂණ සමාගම නිසැකවම ගෙවීම මඟහරියි. හේතුව ගෙවන්න තියෙන මුදල් ගාන හින්දා නෙමෙයි මුදල් ලැබුම්කාරයෝ වැඩි හින්දා.” (සිනා)
මියගිය අයගේ එක් මුනුබුරෙකු යැයි හැඳින් වූ හීන් බබා සාක්කිකූඩුවට නැංවී ය. සරමක් සහ බැනියමකින් සැරසී හුන් ඔහු පිටිසරබද ගැමියකුගේ ස්වරූපයක් ඉසිලී ය. ප්‍රතිඥා මත ඔහු පවසා සිටියේ ඔහුගේ මියගිය සීයා කසාද නොබැඳපු අයෙකු බව යි.
පොලිස් සැරයන්වරයා (විනිශ්චයාසනය අමතමින්): “එහෙත්, ස්වාමිනී, අනෙක් මුනුබුරන් පවසා සිටියේ මියගිය අය දැනට මියගොස් සිටින ජේන් නෝනා නම් කාන්තාවක් සමඟ විවාහ වෙලා හිටයා කියලයි. ඇයය මොවුන්ගේ ආච්චි.”
චුදිතගේ නීතිඥ (සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසමින්): “තමුන් කියන්නේ තමුන්ගේ සීයා බැන්දේ නැහැ කියල ද?”
හීන් බබා: “ඔව්”
චුදිතගේ නීතිඥ: “තනිකඩයකේ?”
හීන් බබා: “ඔව්”
චුදිතගේ නීතිඥ: “කවුද ජේන් නෝනා?”
හීන් බබා: “මගේ ආච්චි”
චුදිතගේ නීතිඥ: “තමුන්ගේ ආච්චි බැඳල ද?”
හීන් බබා: “ඔව්”
චුදිතගේ නීතිඥ: “කාවද බැඳල හිටියේ?”
හීන් බබා: “සියාව” (සිනා)
පැවති වාතාවරණය යටතේ සියල්ලෝම උත්සාහයක යෙදුණේ උස් හඬින් සිනහසීමෙන් වැළකීමටයි. කරුණාරත්න බණ්ඩා මහතා තීරණය කළේ මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය මෘතශරීරය හඳුනා ගැනීමේ කාර්යයට පමණක් සීමාකොට මෙම සාක්ෂිකරු විසින් අන් රක්ෂණ මුදල් ලැබුම්කරුවන්ගේ අවස්ථා විනාශ කිරීමට පෙර මුදාහැරීමටය.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »