මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය පටිපාටිය විධිමත් කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් නව නඩු තීන්දුවක්

2017-12-11 11:09:00       146


මලකාන්ති නම තැනැත්තියක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව තුල්‍යානන්ද යන අයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් පවරන ලදී.චෝදනාව වුයේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 403 වගන්තිය යටතේ වන පැමිණිලිකරුට අයත් රුපියල් මිලියන හතරක් වංචා කිරීම සම්බන්ධයෙනි.

නඩුවේ තොරතුරු වාර්තාව අධිකරණයේ ගොනුකිරීමෙන් පසු පැමිණිලිකාරිය දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණය හමුවේ දන්වා සිටියේ පොලිස් නිලධාරින්ගේ සහයෝගය ඇතිව චුදිත අධිකරණය මග හරින බවයි.ඒ අනුව උගත් මහේස්ත්‍රාත්තුමා සැකකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරනු ලැබිය.

ඒ අනුව වර්ෂ 2013 -12-05 දින සැකකරු නීතිඥ වරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය. ඉන පසුව සැකකරු වෙනුවෙන් වර්ෂ 2013-12-19 දින මෝසමක් ගොනුකරමින් එදින රුපියල් ලක්ෂ 2 ක මුදලක් ගෙවීමටත් ඉතිරිය වාරික 13 කින් ගෙවීමටත් නීතිඥ වරයාගේ ඉල්ලීම උගත් මහේස්ත්‍රාත්තුමා නඩු වාර්තාවේ සටහන් කරමින් සැකකරුට ඇපලබා දෙන ලදී.

එම දිනයේම සැකකරු දිවුරුම් පෙත්සමක් මගින් එකී මුදල් ගෙවීම භාරගනිමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ පිළිගැනීමක් වශයෙන් සටහන් කරනු ලැබිය.කෙසේ නමුත් මෙම එකඟත්වයට අනුව සැකකරු මුදල් නොගෙවීම හේතුකොට ගෙන යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කරන ලදී.ඒ අනුව මහේස්ත්‍රාත් වරයා නඩු වාර්තාවේ සටහන් කලේ “3/4/2014 දින මුදල් ගෙවීමට දින ලබා දී ඇති බැවින් රුපියල් ලක්ෂ 5 1/2 ගෙවූ පසු මුදාහරින්න” වශයෙනි.

ඒ අනුව මෙම නඩුවේ චුදිත රක්ෂිත එකී මුදල ගෙවන තෙක් දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුවිය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් කොළඹ පළාත්බද මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කල අතර එය ප්‍රතික්ෂේප කරන ලදී. එකී නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන ඉල්ලීමක් වශයෙන් මෙම නඩුව අභියාචනාධිකරණය සලකා බලන ලදී.

ඒ අනුව පහත සඳහන් නීතිමය කරුණු එම නඩුවේදී සාකච්චා කරන ලදී.
(අ).චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකර ඇති අවස්තාවක එනම් බි වාර්තාවක් පමණක් ගොනුකර ඇති අවස්ථාවක සමතයක් වාර්තා කිරීමට නීතිමය බලයක් ඇද්ද ?

(ආ).අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ පිළිගැනීමක් චෝදනා පත්‍රයක් නොමැති අවස්ථාවක සටහන් කිරීමට බලයක් ඇද්ද?

(ඇ).එවැනි සමතයක් කඩ කල අවස්ථාවක අධිකරණයට අපහාස කිරිම සැකකරුට එරෙහිව යටතේ චෝදනා කළ හැකිද ?

යන නීතිමය ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලැබිණ.

බි වාර්තාවක් වශයෙන් නඩුවක් පවතින අවස්ථාවක අදාල වරදට සම්බන්ධ පුද්ගලයා සැකකරු වන අතර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ පසු චුදිතයෙකු බවට පත්වේ.
බි වාර්තාවක් වශයෙන් නඩුව පවතින අවස්ථාවක එනම් චෝදනා පත්‍රයක් ගොනුකර නොමැති අවස්තාවක සමතයක් වාර්තා කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවට තීරණය විය.එසේම චෝදනා පත්‍රයක් ගොනුකොට නොමැති අවස්ථාවක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ සැකකරු වෙනුවෙන් වරද පිළිගැනීමක් සටහන් කළ නොහැකි බවත් ඒ අනුව මෙම නඩුවේ ගෙවිය යුතු මුදල ගෙවීමට භාර ගැනීම කරමින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය නීතියනුකුල එකක් නොවන බවත්, චුදිත වෙනුවෙන් වරද පිළිගැනීමේ ස්වභාවයේ ප්‍රකාශයක් චුදිතගේ නීතිඥ වරයා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීම වරද පිළිගැනීමක් ලෙස නීතිය ඉදිරියේ සලකා බැලිය නොහැකි බවට තදුරටත් තීරණය විය.

එසේම කිසියම් සටහන් කළ සමතය කඩ කිරීම යලි චුදිත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පදනමක් නොවන බවත් එසේ අප අවලංගු කොට යලි රක්ෂිත බන්ධනාගාර ගත කළ හැක්කේ ඇප පනතේ ප්‍රති පාදන අනුව බවත් තීරණය විය. එසේම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ අවස්තාවක පවා ඇතිකරගත් සමතයක් කඩකිරීමක් කළහොත් නඩුව නැවත විභාගයට ගත යුතු බවත් තීරණය විය.

courtesy : lawpage.lk


More News »