මූල්‍ය සමාගම් පුම්බන අපේ ලීසිං නීතිය

2018-02-19 11:53:00       297


රටේ ජනතාවගේ සිවිල්, දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික අයිතීන් ඇතුළු සමස්ත ඉරණම ලියවී ඇත්තේ රටේ නීතිය තුළය. එම නීතින් අතුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු සිවිල් සහ ද්ශපාලන අයිතීන්ට අදාළ කථිකාවක් සිවිල් දේශපාලන කණ්ඩායම් අතර මෙන්ම සාමාන්‍ය ජන සමාජය තුළ ද ඇතිවී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු පනත් කීපයක් හැරුණුවිට මෙරට තුළ පනවා ඇති සහ පැනවෙමින් තිබෙන බොහෝ නීති අදාළ වන්නේ ජනතාවගේ මුදල්, චංචල හා නිශ්චල දේපොළවලටය. වර්තමානය වනවිට බොහෝ නීති පැනවෙන්නේ බැංකු, මූල්‍ය ආයතන හා ව්‍යාපාරික ගනුදෙනුවලට අදාළව වන අතර ජනතාවගෙන් බොහෝ දෙනෙකුගේ සියලු දේපොළ එම වාණිජ නීතින් මඟින් පාලනය වේ.
ඊට හේතුව වර්තමානයේ ජනතාවගේ සමස්ත දේපළ ද බැංකු සහ මූල්‍ය ආයතන සමඟ බද්ධව පැවතීමයි. එම ගනුදෙනුවලට අදාළ නීති වාණිජ නීතින් ලෙස හැඳින්වේ. අද වනවිට බොහෝ නීති පැනවෙන්නේ ඉහත කී වාණිජ ගනුදෙනුවලට අදාළව වුවද බහුතරයක් වූ ආර්ථික අයිතීන්ට අදාළ නීති සම්බන්ධ කිසිදු සාකච්ඡාවක් සාමාන්‍ය ජනතාව අතර පමණක් නොව නීති ප්‍රජාව අතරද නැත.

සමාජ යහපත පිළිබඳ දෘෂ්ටියක් ඇති බුද්ධිමතුන් හට වාණිජ නීති පිළිබඳ දැනුමක් හෝ අදහසක් නොමැත. වාණිජ නීති සකස් කිරීමේදී බැංකුකරුවන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පමණක් සහභාගි වන අතර සාධාරණත්වය පිළිබඳ අදහසක් ඇති සමාජ විද්‍යාඥයන්ගේ සහභාගිත්වයක් නොමැත. ඉතා කෙටියෙන් පවසන්නේ නම් ජනතාවගේ නීතිමය ආර්ථික අයිතීන් සම්බන්ධ සමාජ දෘෂ්ටියක් අපට නැත. මේ පිළිබඳ කථිකාවක්ද තවමත් ආරම්භ වී නැත.
පසුගිය දශක දෙක තුන තුළ විශේෂයෙන්ම බැංකු, මූල්‍ය සමාගම් හා ජනතාව අතර ගනුදෙනුවලට අදාළව නීති පැනවෙන්නේ ඉහත අඳුරු අවකාශය තුළය. ඒ අනුව අද වනවිට අපගේ ව්‍යවස්ථාදයකය විසින්ම පනවන ලද නීතින් මගින් ජනතාවගේ මුදල්, චංචල හා නිශ්චල දේපොළ සම්බන්ධ බලය බැංකු හා මූල්‍ය ආයතනවලට පවරා ඇත. විශේෂයෙන්ම අධිකරණ නියෝගයක් නොමැතිව මූල්‍ය ආයතනවලට ජනතාවගේ දේපොළ පැහැර ගැනීමට පහත සඳහන් පනත් මඟින් අවසර දී ඇත. එහිදී සමාගම් විධායක බලය භාවිත කරන අතර එකී විධායක බලය පාතාල කණ්ඩායම් හරහා කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක කිරීමටද පහසුකම් සලසා ඇත.
1.2000 අංක 56 දරන කල්බදු හා මූල්‍යකරණ පනත (භාණ්ඩ අත්පත් කරගැනීම)
2.1990 අංක 02 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (මුදල් අයකර ගැනීම)
3.1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (ඉඩම් ගෙවල් ඇතුළු නිශ්චල දේ‍ෙපාළ අත්පත්කර ගැනීම)
ඉහත සඳහන් පනත් ඇතුළු එම ධාරාවේ අනෙකුත් නීති පැනවීම මඟින් ජනතාවගෙන් හොඳින් හෝ නරකින්, අධිකරණය මඟින් හෝ බලහත්කාරයෙන් හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ මූල්‍ය ආයතනවලට ණය අයකරදීමට අපගේ නීතිය කටයුතු කර ඇත. එකී නීතිමය ප්‍රතිපාදනවල හරය පහත ආකාරයෙන් කෙටිකර දැක්විය හැකිය.

1.මුදල් අයකර ගැනීමේ අධිකරණ කාර්ය පටිපාටිය ලඝු කාර්ය පටිපාටිය බවට පත්කිරීම – මෙයින් සිදුවන්නේ නඩු ඇසීමට පෙර මුදල් ගෙවන ලෙස නියම කිරීමයි.
2.සමහර අවස්ථාවලදී අධිකරණ මැදිහත්වීමක් නොමැතිව දේපොළ අයකර ගැනීමට හැකියාව දීම. වාහන සහ ඉඩම් බලෙන් අත්පත් කර ගැනීමට සමාගම්වලට බලය දීම.
3.සමාගම්වලට ජනතාවගේ විධායක බලය පැවරීම, නීති ක්‍රියාත්මක කිරීමේ බලය විධායකයට පමණක් ඇති නමුත් ඉහත කී පනත් යටතේ සමාගම් ඒවා ක්‍රියාත්මක කරනු ලබයි.
4.විධායක බලය කණ්ඩායම් හරහා ක්‍රියාත්මක කිරීම.
5.පොලී අයකර ගැනීමේ සාධාරණ සීමා ඉවත් කිරීම.
6.අයුතු ධනවත්වීමේ මූලධර්මය ඉවත් කිරීම.
7.මූල්‍ය සමාගම් සමඟ ඇති කර ගන්නා ගිවිසුම් කඩකිරීම බොහෝ අවස්ථාවලදී අපරාධ වැරදි බවට පත්කිරීම.
8.අපරාධ අධිකරණවලදී පවා මුදල් අයකර ගැනීමට ප්‍රතිපාදන සැලසීම.
මෙම වාණිජ නීතියේ සැබෑ තත්ත්වය කුමක්ද යන්න තේරුම් ගැනීමට හැකිවන පරිදි ඉහත කී පනත්වල ප්‍රතිපාදන පිළිබඳ ඔබගේ අවධානය යොමු කරමු.
2000 අංක 56 දරන කල්බදු සහ මූල්‍යකරකණ පනතපනතේ අන්තර්ගතය අනුව බැංකු හෝ මූල්‍ය සමාගම් බදු දීමනාකරු වන අතර උපකරණ ලබා ගන්නා පුද්ගලයා බදු ගැනුම්කරු වේ. පාර්ශ්වයන්ගේ අයිතීන්ට පනතේ 11 සිට 31 දක්වා වගන්ති අදාළ වේ. පනතේ 11 වගන්තිය අනුව බදු ගැනුම්කරුට ඇති එකම අයිතිය වන්නේ බදු කාලය තුළ වාහනය භුක්ති විඳීමේ අයිතිය පමණී. බදු ගෙවා අවසන් කළ පසුව වාහනයද මූල්‍ය ආයතනයට බාරදිය යුතුය. එම පනතේ 15 වන වගන්තියේ සහ සෑම ලීසිං ගිවිසුමකම එම ප්‍රතිපාදන අන්තර්ගතව ඇත.
නීතිමය ව‍ශයෙන් මුදල් ගෙවූවද නොගෙව්වද වාහනය බදු ගැනුම්කරුට අයිති නොවන අතර වාහනය බදු ගැනුම්කරුට දීමට හෝ නොදීමට අභිමතයක් මූල්‍ය ආයතනයට ඇත. ලීසිං ක්‍රමයෙන් වාහනයක් හිමිවන බවට ජනතාව තුළ ඇති විශ්වාසය මිථ්‍යාවකි.
බදු ගැනුම්කරු විසින් පැහැර හැරීමක් හෙවත් ගිවිසුම් කඩකිරීමක් (පැහැර හැරීම යන්න නීතිය විස්තර නොකරයි. එය තීරණය කරනු ලබන්නේ මූල්‍ය ආයතනයයි) කළහොත් කල්බදු ගිවිසුම අවලංගු කිරීමට මූල්‍ය ආයතනයට හැකියාව ඇත. පැහැර හැරීම යන්න පනතේ විග්‍රහ කර නැති බැවින් ඕනෑම හේතුවක් මත ඕනෑම අවස්ථාවක ගිවිසුම අවසන් කර බදුකරුට ඇති එකම අයිතිය වන බදු කාලය තුළ වාහනය භාවිත කිරීමේ අයිතිය අහෝසි කර වාහනය ආපසු ලබාගත හැකිය. මෙම නීතියේ විශේෂත්වය වන්නේ කුමන ආකාරයෙන් නීතියට එරෙහිව ක්‍රියා කළ ද කිසිදු නඩුකරයක් මූල්‍ය සමාගමට එරෙහිව පැවරීමට බදු ගැනුම්කරුට හැකියාවක් නොමැතිවීමයි. බදුකරු විසින් පැහැර හැරීමක් කර ඇති බව මූල්‍ය ආයතනය තීරණය කරයි නම් එම ආයතනයට මෙතෙක් බදු ගැනුම්කරු ගෙවූ මුදල් රඳවා ගැනීමටත් අදාළ වාහනය හෝ උපකරණය ලබාගෙන විකිණීමට හෝ මනාපයක් කර ගැනීමටත් නඩු පවරා ගිවිසුමට අදාළ මුදල් අයකර ගැනීමටත් තව වාසි රැසක් ලබාගත හැකි බවටත් පනතේ ප්‍රතිපාදන සපයා ඇත.
අපගේ විග්‍රහය
ඉහත කරුණු අනුව මෙම පනතේ ඉතාමත් සුවිශේෂ ලක්ෂණයක් ඇත. එනම් බදුකරු (පාරිභෝගිකයා) මුදල් නියමිත ලෙස ගෙවා අවසන් කළ ද ගෙවීමට අපොහොසත් වූවද අවසාන වශයෙන් වාහනයද මුදල්ද පොලිය ද දඩ පොලියද එම පනතේ දක්වා ඇති පරිදි වැඩිපුර මුදල් ද ආදී සියලු හිමිකම්, වරප්‍රසාද මූල්‍ය ආයතනයට පමණක් හිමිවීමත් සමස්ත වගකීම පමණක් කල්බදුකරුට හෙවත් පාරිභෝගිකයාට පැවරීමත්ය.
බොහෝවිට කල්බදු මුදල් ගෙවා අවසන් කළ අවස්ථාවලදී වාහනයේ අයිතිය මූල්‍ය ආයතනය විසින් කල්බදුකරුට පවරා දෙනු ලබයි. එසේ කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථා ද ඇත. ඒ සඳහා මූල්‍ය ආයතනවලට අභිමතයක් ඇත. ඔවුන් එම අභිමතය තම වාසියට භාවිතා කරමින් ලීසිං ක්‍රමය අවසානයේ වාහනය තමන්ට අයත්වන බවට වන මායාවෙහි මිනිසුන් තවදුරටත් හිරකර තබයි.
ඉතා අඩු කොන්දේසි යටතේ වාහනයක් ලීසිං ක්‍රමය යටතේ ලබාගන්නේ නම් එහි වටිනාකමින් 100% ක් මූල්‍ය පහසුකම් සැපයීමට සමහර මූල්‍ය ආයතන එකඟ වන්නේ මෙම නීතිමය මංකොල්ලයේ වාසි ඔවුන් දන්නා බැවිනි. මෙසේ ලීසිං පහසුකම් ලබාගන්නා පුද්ගලයන් අතුරින් 50% කට වැඩි ප්‍රමාණයකට නියමිත පරිදි මුදල් ගෙවීමට අපහසු වන බැවින් ඔවුන් පැහැර හරින්නන් බවට පත්වේ. වැඩි වැඩියෙන් පුද්ගලයන් පැහැර හරින්නන් බවට පත්කිරීම ජාවාරම්කාර ලීසිංකරුවන්ගේ උපක්‍රමයකි. මන්ද? ගිවිසුම අනුව ගෙවා අවසන් කරන පුද්ගලයන්ගෙන් ඔවුන්ට ලැබෙන්නේ ලීසිං මුදල පමණී. එහෙත් පැහැර හරින්නන්ගෙන් ඔවුන්ට සම්පූර්ණ මුදලද, වාහනයද, දඩ පොලියද (මෙය 60% ක් පමණ වේ)
අවශ්‍ය නම් වැඩිපුර මුදලක්ද අයකර ගත හැකිය. මෙම නීතිය සාධාරණ නොවන බව නොකියන නමුත් මෙය අන්ත අසාධාරණ නීතිමය සළුපිළියෙන් සරසන ලද මංකොල්ලයකි.
වර්ෂ 2000 දී මෙම කල්බදු (ලීසිං) පනත පැනවීමට පෙර වාරික ගෙවීම යටතේ වාහන ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ වූයේ එකී කුලී සින්නක්කර නීතිය වේ. එම කුලී සින්නක්කර ගිවිසුම් 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතින් පාලනය වේ. එම පනත ඉහත සියලු සාධාරණත්වයන් අන්තර්ගත වූවකි. එය අද වනවිට වලංගු වූවද බැංකු හෝ මූල්‍ය ආයතන එය ප්‍රායෝගිකව අක්‍රීය කර ඇත. බැංකු වෙනුවෙන් කැපවුණු ඉහළින් වැජඹෙන නීතිඥ පිරිසක් හැර මෙම නීති වෙනස්කම් වෙනත් අය නොදනී.
අද වනවිට ගොවීන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් දහස් ගණනින් මහමඟට ඇද වැටෙමින් සිටිති. විශේෂයෙන්ම කොළඹ සහ ප්‍රධාන නගර උසාවිවල දහස් ගණන් මුදල් සහ පොලී අයකර ගැනීම සඳහා මූල්‍ය ආයතන විසින් පවරන ලද නඩු ගොඩ ගැසී ඇත. අද වනවිට සිවිල් නඩු යනු මූල්‍ය ආයතන විසින් මුදල් අයකර ගැනීම සඳහා පවරන නඩුය. මෙය සමාජ ව්‍යසනයක් ලෙස අපි හඳුනා ගතිමු.
අප නීතිඥයන් වශයෙන් දන්නා පරිදි ලීසිං පනත සමාජ අසාධාරණය නීතිමය ලෙස පිළිගැනීමේ එක් සාක්ෂියක් පමණී. එය අපගේ ව්‍යවස්ථාදායකයේ අභිලාෂයයි. මෙහි ඛේදනීයම තත්ත්වය වන්නේ මෙම පනත පනවනවිට අධිකරණ ඇමැතිවරයා වූයේ අග්‍රගණ්‍ය නීති මහාචාර්යවරයකු ලෙස සළකන ජී. එල්. පීරිස් මහතා වීමයි.
කල්බදු පනත සංශෝධනය කිරීම පිළිබඳව අපගේ යෝජනා
1.ලීසිං වාරික ගෙවා අවසන් වූ පසු වාහනයේ අයිතිය කල්බදුකරුට ලැබිය යුතුය.
2.වාහනයක් අත්පත් කර ගැනීම අධිකරණයේ නියෝග මත පමණක් සිදුකළ යුතුය.
3.අධිකරණය මඟින් අත්පත් කරගැනීමට අපොහොසත් වූ අවස්ථාවක පමණක් බාහිර පාර්ශ්ව මගින් අධිකරණයේ අධීක්ෂණයට යටත්ව වාහන හෝ උපකරණ අත්පත් කරගත හැකිවිය යුතුය.
4.අත්පත් කරගත් වාහනය හොඳම මිලට විකිණිය යුතුය. ඒ සඳහා 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතේ දක්වා ඇති ප්‍රතිපාදන සැලසිය යුතුය.
5.වාහනය අත්පත් කර ගැනීමෙන් පසු එය හොඳම මිලට විකුණා එම මුදල් බදුකරුගෙන් අය විය යුතු මුදලෙන් අඩුකර ඉතිරි මුදල පමණක් අධිකරණය මඟින් අයකර ගැනීමට අයිතිය දිය යුතුය.
6.වාහනය අත්පත් කරගෙන ඊට සමගාමීව නඩු පවරා මුදල්ද ලබාගැනීම සඳහා මූල්‍ය ආයතනවලට ඇති අයිතිය ඉවත් කළ යුතුය.
7.පාරිභෝගිකයකුට ගෙවා අවසන් කිරීමට අපහසු අවස්ථාවක තම වගකීම් වෙනත් අයෙකුට පැවරීමට හැකිවිය යුතුය.
8.ලීසිං පනතේ තම අයිතියට වඩා වැඩියෙන් මුදල් අයකර ගැනීමට මූල්‍ය ආයතනවලට ඇති අයිතිය ඉවත් කළ යුතුය.
9.60% හා 80% දක්වා අය කරන දඩ පොලී ඉවත් කළ යුතුය. පොලී සම්බන්ධ 1852 සිවිල් නීති ආඥා පනතේ 05 වගන්තියේ ප්‍රතිපාදන අදාළ කළ යුතුය.
10. පනතේ 31 වන වගන්තිය ඉවත් කළ යුතුය.
1990 අංක 02 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත
 
පනතේ අන්තර්ගතය
මෙම පනත යටතේ සියලුම බැංකු සහ මූල්‍ය ආයතනවලට තම සමාගම්වලට අය විය යුතු මුදල් අයකර ගැනීම සඳහා ලඝු කාර්ය පටිපාටිය අනුව නඩු පැවරීමට අයිතිය ඇත.
මූල්‍ය ආයතනයට මුදල් අය විය යුතු බව දක්වන ගිවිසුමක් හෝ වෙනත් ඕනෑම ලේඛනයක් මත නඩු පැවරීම සිදුකළ හැකිය.
නඩු පවරන පැමිණිල්ලත් සමඟ නඩු තීන්දුවේ කෙටුම්පතක් පැමිණිලිකරු විසින් ගොනුකළ යුතුය.
අධිකරණයේ පෙනී සිටින මුල් දිනයේම විත්තිකරු විසින් (ණයකරු) නඩුවට ඉදිරිපත්වීමට ගරු අධිකරණයේ අවසරය ලබාගැනීමට ලේඛන ඉදිරිපත් කළ යුතුය.
අධිකරණයේ පෙනී සිටීමට හා උත්තරවාද ඉදිරිපත් කිරීමට අවසර ලබාගැනීම සඳහා මුල් දිනයේම ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් දැනටමත් ඉදිරිපත් කර ඇති පරිදි නඩුව පැමිණිල්ලේ වාසියට තීන්දු වී එය නියත තීන්දුවක් බවට පත්වේ. බොහෝවිට මෙම නඩුවලදී සිදුවන්නේ මුල් දිනයේම පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දුවීමයි.
අවසර ඉල්ලා ලේඛන ගොනු කළහොත් බොහෝ අවස්ථාවලදී අධිකරණය නඩුවේ උත්තරවාද ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන්නේ මූල්‍ය ආයතන ඉල්ලා ඇති මුදල අධිකරණයේ තැන්පත් කිරීමට යටත්වය.
මෙම පනතේ පරමාර්ථය වන්නේ නඩු ඇසීමකින් තොරව අධිකරණය මගින්ම පාරිභෝගිකයන්ගෙන් මුදල් අයකර ගැනීමයි.
මේ පනත මගින් මූල්‍ය ආයතනවලට අයකර ගත හැකි පොලී සීමාව ඉවත්කර ඇත.
මෙම පනත සංශෝධනය කිරීම සම්බන්ධව අපගේ මූලික යෝජනාව වන්නේ අයකර ගත හැකි පොලිය සාධාරණ සීමාවකට යටත් කළ යුතු බවයි.
1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) මෙම පනතේ මූලික පරමාර්ථය වන්නේ පුද්ගලික බැංකු මඟින් නිශ්චල දේපොළ (ඉඩම් – ගෙවල්) උකස් කිරීම් මත ලබාදුන් ණය අයකර ගැනීම කඩිනම් කිරීමයි. මෙම පනතට සමගාමීව රාජ්‍ය වාණිජ බැංකු පනත්ද සංශෝධනය කර ඇත. සාමාන්‍යයෙන් සිදුවන්නේ උකස් කළ දේපොළක් සඳහා ගෙවීම් නොකළහොත් ඒ සම්බන්ධ නඩු පවරා අධිකරණය මඟින් ණය අයකර ගැනීමයි. එහෙත් මේ පනත අනුව අදාළ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභා සම්මතයක් මගින් අදාළ දේපළ වෙන්දේසියේ විකුණා ණය අයකර ගැනීමට බැංකුවලට බලය දී ඇත. මෙහිදී බැංකුව විධායක බලය ක්‍රියාත්මක කරන අතර අධිකරණ මැදිහත්වීම ඉවත්කර බලහත්කාරයෙන් දේපොළ විකිණීමට බැංකුවට අයිතිය ඇත. ඒ අනුව රටේ නීතිය අතට ගැනීමට අයිතිය සමාගම්වලට ලබාදී ඇත. අප රටේ විධායක බලය සමාගම්වලට පැවරීම මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. මෙරට විධායකයට වූවද ජනතාවගේ දේපොළ හෝ දේපොළ අයිතිය අහිමි කළ හැකි වන්නේ අධිකරණ නියෝගයක් ඇත්නම් පමණී. නමුත් බැංකුවලට බලහත්කාරය සඳහා අවසර ඇත.
අධිකරණ මැදිහත්වීමක් නොමැති නිසා දෙපාර්ශ්වයට සවන්දීමක් නොමැත. විත්තිකරුගේ (පාරිභෝගිකයාගේ) සියලු අයිතීන් තීරණය කරනු ලබන්නේ බැංකුව විසිනි. එබැවින් ගත් මුදල මෙන් කිහිප ගුණයක් පොලිය එකතුකොට දේපොළේ සම්පූර්ණ අයිතිය බැංකුව ලබා ගනී. මිනිසුන්ට එම බලහත්කාරය හෝ එම අසාධාරණය විභාග කළ හැකි ස්ථානයක් හෝ සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ හැකි තැනක් නැත. බැංකු විසින් එවැනි විකිණීමකින් පසුව සකස් කරන “විකිණීමේ සහතික පත්” ප්‍රශ්න කළ නොහැකි බවත් එය අධිකරණය විසින් අවලංගු කළ නොහැකි බවත් පනත දක්වයි. වර්තමාන නීති තත්ත්වය අනුව අපගේ අධිකරණ විසින් පිළිගනු ලබන්නේ බැංකුවලට අය කළ හැකි පොලිය අසීමිත බවයි. ඉහත තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා බැංකු සිදුකරන්නේ කෝටි 10 ක් වටිනා දේපොළක් කෝටි 01 කට උකස්කර ඇති අවස්ථාවක කෙසේ හෝ පොලිය ගණනය කර එම දේපොළ අත්පත් කර ගැනීමයි.
1990 ට පෙර පැවති නීතිය අනුව යම් දේපොළක් උකස් කර ඇත්නම් මුදල් අයකර ගැනීම සඳහා විකිණීමට හැකි වන්නේ එම දේපොළ පමණී. එහෙත් 1990 අංක 03 දරන පනත මඟින් උකස්කරුට අයත් අනෙක් සියලුම දේපොළ වුවද අත්පත් කර ගැනීමට හැකිවන පරිදි නීතිය වෙනස් කර ඇත. මෙම පනත සංශෝධනය කිරීම පිළිබඳව අපගේ යෝජනා වන්නේ දේපොළ වෙන්දේසි කිරීම අධිකරණ නියෝග මත පමණක් සිදුකිරීම ජනතාවගෙන් අයකර ගත හැකි පොලිය සඳහා සාධාරණ සීමාවක් පැනවීම. දඩ පොළී සම්පූර්ණයෙන් ඉවත් කිරීම. විකුණනු ලබන ඉඩමේ වටිනාකම බැංකුවට අය විය යුතු මුදලට වැඩිනම් එම මුදල ආපසු උකස්කරුට ගෙවිය යුතු බව සහ ඒ සඳහා ලඝු කාර්ය පටිපාටිය අනුව ප්‍රතිපාදන සකස් කිරීම.
දේපොළ විකිණීමේ අයිතිය උකස් කළ දේපොළට පමණක් සීමා කිරීම අපගේ මූලික තර්කනයන් වන්නේ නීතිය සාධාරණ විය යුතු බවත් අධිකරණ නියෝගයක් නොමැතිව පුද්ගලයන්ට දඬුවම් කළ නොහැකි සේම ඔවුන්ගේ දේපොළ අයිතිවාසිකම් ද අධිකරණ නියෝගයක් නොමැතිව අහිමි කළ නොහැකි බවයි. තවද සියලුදෙනා නීතිය දන්නා බවට පූර්ව නිගමන පැවතිය ද නීතිය බැංකුව දනී. ජනතාව නොදනී. ගිවිසුම්වල ඉංග්‍රීසි භාෂාව බැංකුව දනී. ජනතාව නොදනී. බැංකුවලට මුදල් ඇත. ජනතාවට මුදල් නැත. නීතියේ ආරක්ෂාව හා පාතාල සහාය මූල්‍ය ආයතනවලට ඇත. ඒ කිසිවක් ජනතාවට නැත. ප්‍රායෝගික තත්ත්වය එයයි. ඉහත කී තත්ත්වය තුළ නීති සකස් කිරීමේදී ව්‍යවස්ථාදායකයේ අභිලාෂය සමාජ යහපත වෙත යොමුවීම අතිශය වැදගත්ය.

courtesy : lawpage.lk


More News »