නඩු ප්‍රමාදය අවම කළ හැක්කේ කෙසේද?…

2018-03-05 10:49:00       560


අධිකරණ ක්‍රියා දාමයේ ප්‍රබලතම සහ ප්‍රධානතම ගැටළුව වන්නේ යුක්තිය ඉටුවීමේ ප්‍රමාදයි. “යුක්තිය ඉටුවීම ප්‍රමාදය , යුක්තිය වැළහීමක්” බව නීති විද්‍යාවේ පිළිගත් මුලික සංකල්පයකි. අධිකරණයට පැමිණෙන සියයට අනුපහකගේ මැසිවිල්ලද එයම වේ. නව රජය බලයට පත් වීමත් සමග මේ ගැටළුවට යම්තාක් දුරට විසඳුමක් ජනතාව බලාපොරොත්තු වුවද එය විසඳීමට කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් ගත් බවට පෙනෙන්නට නොමැත.මෙම ගැටළුවේ ස්වභාවය නියම ආකාරයෙන් තේරුම් ගත හැකි අධිකරණ ඇමති වරයෙක් සිටියද වචනයෙන් ඒ සම්බන්ධ අදහස් ප්‍රකාශ කළද , ප්‍රතිපත්තිමය වශයෙන් කිසිවක් කර නොමැති වීම කණගාටුවට කරුණකි. මේ ගැටලුවෙන් මහජනතාව බරපතල ලෙස පිඩාවට පත් වේ. නඩු ප්‍රමාදය සිවිල් සහ අපරාධ නඩු යන අංශ දෙකටම එක ලෙස බලපා ඇත. බොහෝ අපරාධ නඩුවක් අවසන් කිරීමට වසර 10 කටත් අධික කාලයක් ගත වේ. සමස්තයක් ලෙස සලකා බැලීමේදී නඩු ප්‍රමාදය අවසන් කිරමට සංශෝධනය විය යුතු අංශ ගණනාවකි.එනම් ,
1. නීතිය සංශෝධනය විය යුතුය
2.අනුගමනය කලයුතු කාර්ය පටිපාටිය සංශෝධනය කල යුතුය.
3.අධිකරණ සහ විනිසුරුවන්ගේ ප්‍රමාණය,සහ සම්පත් වැඩි කල යුතුය

අපරාධ නඩුවක් විභාග කල හැකි අධිකරණ දෙකකි. එනම් එය මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි. නමුත් ඕනෑම අපරාධ නඩුවක් ආරම්භ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙනි. මහේත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් නඩුවක් පැවරීමට සාක්ෂි ඇත්නම් චෝදනාවක් ඉදිරිපත් කල හැක්කේ එම අධිකරණයේ මහේස්ත්‍රාත් වරයාටය. ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග කල හැකි නඩුවක් සම්බන්ධයෙනි. මිනි මැරුම් වැනි බරපතල ඝනයේ අපරාධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මුලික පරීක්ෂණයක් පවත්වා සාක්ෂි ඇත්නම් පමණක් හෝ ඇතැම් බරපතල අපරාධ සම්බන්ධ මුලික පරීක්ෂණයක් නොපවත්වා ලිපිගොනුව නීතිපති වරයා වෙත යොමු කරනු ඇත. ඉන් පසුව නීති පතිවරයා අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමට අවම වශයෙන් වසරක කාලයක් ගත වන අතර දේශපාලන චුදිතයන්ගේ අධිචෝදනා ඇතැම්විට ඉක්මනින් මහාධිකරණයට ඉදිරිපත් කරයි. මහාධිකරණය දක්වා නඩුවක් ගොනුවීමට වසර තුනක හෝ හතරක කාලයක් ගත වේ. ඉන් පසුව මෙම නඩුව මහාධිකරණයේ අවසන් වීමට තවත් වසර 3 සිට වසර 5 ක් දක්වා කාලයක් ගත වේ. මේ කාලය තුල සාක්ෂි කරුවන් මිය යා හැක. ඇතැම් අවස්ථාවල සාක්ෂිකරුවන් විදේශ ගත විය හැක. තවත් අවසථාවක පදිංචිය වෙනස් කිරීම නිසා නඩු විභාගයට සාක්ෂි කරුවන් සොයා ගැනීමට නොහැකි වේ. බරපල අපරාධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මුලික පරීක්ෂණයක් පැවැත්වීමේ එක අරමුණක් වන්නේ මහාධිකරණයේ නඩුව විභාග වීමේදී මියගොස් ඇති සාක්ෂි කරුවෙකු හෝ සොයා ගත නොහැකි සාක්ෂි කරුවෙකුගේ, පැවති මුලික පරීක්ෂණයේ සාක්ෂි ඉහල අධිකරණයේදී සාක්ෂි කරු නොමැත වුවද අදාල කර ගැනීමට අවකාශ ලබා ගැනීමයි.
නමුත් මෙම අරමුණ යම් මට්ටමකට යහපත් වුවද මෙම මුලික පරීක්ෂණය පැවැත්වීමටද මහේස්ත්‍රාත් අධිකරණයේ වසර දෙකකට ආසන්න කාලයක් ගත වේ.මෙම ප්‍රමාදය අවම කිරීමට නම්,
1.නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල සහිත රජයේ නීතිඥ වරයෙකු පත්කොට ප්‍රාදේශීය මට්ටමින් කාර්යාල ඇතිකොට නඩු පැවරීමෙන් නීතිපතිවරයාගේ බලය විමධ්‍ය ගත කළයුතු වේ.

2. එසේ පත් කරනු ලබන රජයේ අධි නීතිඥ වරයා පොලිස් අධිකාරි වරයෙකු සමාන බලතල ලබා දී අපරාධ නඩු සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත අදාල පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමෙන් පොලිස් ස්ථාන වලින් අපරාධ නඩු සම්බන්ධයෙන් වන ප්‍රමාදය අවම කල හැක.

3.නීති වරයාගේ හෝ රජයේ අධිනීතිඥ වරයාගේ අධි චෝදනා පැවරීමේ ප්‍රමාදයක් ඇත්නම් සෘජුවම අධිචෝදනාවක් ඉදිරිපත් කළහැකි සුදුසුම පුද්ගලයා වන්නේ එම මුලික පරීක්ෂණය පැවැත්වූ මහේස්ත්‍රාත් වරයාය. එමගින් ලිපිගොනු එහාට මෙහාට යාමට ගතවන කාලය අවම කර ගත හැකි වනු ඇත.

4.බරපතල අපරාධ සම්බන්ධයෙන් වන මුලික පරීක්ෂණය පැවැත්විය යුතුද නැද්ද යන්න අදාල මහේස්ත්‍රාත් වරයාට තීරණය කිරීමේ බලය ලබා දීමට නීතිය සංශෝධනය කල යුතු අතර එම සාක්ෂි කරුවන් අධිකරණයට ගෙන්වා ගත හැකි සම්භාවිතාව සහ සාක්ෂි වෙනස් කිරීමේ ප්‍රවණතාව මත මහේස්ත්‍රාත් වරයා එම තීරණය ගත හැකි වන ලෙස නීතිය සංශෝධනය විය යුතුය.

5. අපරාධ නඩුවක් විභාගයට ගැනීමට පෙර අදාල මහාකරණ විනිසුරුවරයා සහ නීතිඥ වරුන් පෙර නඩු විභාග සාකච්චාවක් (Pre Trial Conference) පැවැත්විය යුතු බවට නීතිය සංශෝධනය විය යුතුය. පැමිණිල්ලෙන් සහ චුදිතයන්ගේ නඩුවේ ස්ථාවරය එකී සාකච්චාවේදී දෙපර්ශයෙන් ඉදිරිපත් කල යුතු අතර එකී නඩුවේ ස්ථාවරය සහ ඉදිරිපත් කරනු යෝජිත ද්‍රවය මය , ලේඛනමය සාක්ෂි සහ කැඳවනු ලබන සාක්ෂි එම අවසථාවේදී විනිසුරු වරයාට දැන්විය යුතු අතර පසුව වෙනත් සාක්ෂි සහ සාක්ෂිකරුවන් කැඳවීමට,නඩුවේ ස්ථාවරය ,විත්තිවාචකය වෙනස් කිරීමට අවසර ලබා නොදිය යුතුය. එමගින් නඩු විභාගයට ගතවන කාලය අවම කර ගත හැක.

6.මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබන මුලික පර්ක්ෂණය අවලංගු කොට නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා ඉදිරියේ දෙපාර්ශයේ නීතිඥ වරුන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී එම අවසතාවේ කරනු ලබන සියලු ප්‍රකාශ සහ ප්‍රශ්න විරෝධතා අනුකුල අනනුකුල සියලු කරනු සටහන් කොට එම සාක්ෂි වලින් අදාල කර ගත හැකි සාක්ෂි සහ විරෝධතා සම්බන්ධයෙන් පෙර නඩු විභාග සාකච්චාවේදී මධිකරණ විනිසුරුවරයා නඩුවට අදාල කර ගත හැකි සාක්ෂි කොටස් සහ අදාල කරගත නොහැකි කොටස් සම්බන්ධයෙන් නියෝග ලබා දිය යුතු අතර ඊට අනුකුලව පමණක් නඩු විභාගයේදී සාක්ෂි ඇසීම සිමා කිරීමට නීතිය සංශෝධනය කල හැක. එමගින් නඩු විභාගයේදී අනවශ්‍ය ලෙස නඩුවේ මුලික ප්‍රශ්න සහ හරස් ප්‍රශ්න සිමා කිරීම කල හැකි අතර නඩුවේ විභාගයට ගතවන කාලය අඩු කර ගත හැක.

7. ත්‍රි පුද්ගල විනිසුරු වරුන් ( Trial-at -bar) සහිත විශේෂ නඩු විභාග නීතියෙන් ඉවත් කල යුතු අතර එය ලෝකයේ කිසිම රටක අපරාධ නීතිය තුල නැති අපරටට පමණක් විශේෂ ක්‍රමයකි. මෙමගින් අධිකරණ තුනක කාලය කා දැමීමක් වන අතර ඒ තුලින් නීතිය තුල ඇති අසමානව සැලකීමේ ක්‍රමය අපරටේ නීතය තුලින්ම පිළිගෙන ඇත.

8. මහාධිකරණය , දිනකට සැසි දෙකකට සකස් කල හැකි අතර දැනට පවතින ක්‍රමය අනුව අධිකරණයේ නඩු ආරම්භ වන්නේ පෙරවරු 9.30 ටය. නමුත් අධිකරණයේ කටයුතු උදේ 8.00 ආරම්භ කොට පළමු සැසිය 12.30 ට අවසන් කල හැක. පළමු සැසිය තුල විභාග නඩුවලට පමණක් සිමා කොට දෙවන සැසිය පස්වරු 1.30 සිට 4.30 දක්වා පැවැත්විය හැකි අතර දෙවන සැසිය සඳහා විශ්‍රාම ගිය විනිශ්වකරුවන් ( මහේස්ත්‍රාත් වරුන් , දිසා විනිසුරු වරුන් හෝ ඉහල විනිසුරුවරුන්) වැඩ කරනු ලබන පැය ගණනට සාධාරණ මුදලක් ගෙවා සේවය ලබා ගත හැක. මේ සැසිය තුල කැඳවීම නඩු වලට පමණක් සිමා කල යුතු අතර ස්ථිර මහාධිකරණයේ විනිසුරු වරයාගේ අධීක්ෂණයට ලක් කිරීමෙන් විය හැකි විසමාචාර වැලැක්විය හැක.

9. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සම්බන්ධයෙන් වෙනම කොමසාරිස් වරයෙකු බඳවා ගෙන සමත මණ්ඩලයට අමතර නැවත වරක් සුළු ආරවුල් මෙම කොමසාරිස් වරයා වෙත ඉදිරපත් කොට නඩුව විභාග කිරමට පෙර සමත කිරීමට හැකියාවක් ඇද්ද යන්න සොයා බැලිය යුතුය. නීතිය පිලිබඳ දැනුමක් ඇති අයෙකු මේ සඳහා බඳවා ගත හැකි අතර නඩුවේ නියම ස්වභාවය සම්බන්ධයෙන් පාර්ශවයන් වෙත කරුණු පැහැදිලි කිරීම මෙම කොමසාරිස් වරයාගේ කාර්ය විය යුතුය.

10. මහේස්ත්‍රාත් අධිකරණයට පවරා ඇති අර්ධ සිවිල් සහ අර්ධ අපරාධ නඩු එනම් නඩත්තු නඩු සහ 66 වගන්තියේ නඩු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත්කොට දිසා අධිකරණයට යොමු කල හැක. බොහෝ විට දික්කසාද නඩුව දිසා අධිකරණයේ විභාග වන විට වෙනත් දිනක එම පාර්ශවයන්ගේම නඩත්තු නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ. නමුත් මෙම නඩු දෙකම එක ස්වාභයේ සහ එකම පර්ශය්වන් අතර නඩුවක් හෙයින් දිසා අධිකරණයේ එක නඩුවක් ලෙස විභාග කල හැක.මෙමගින් මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු ව්භාග කිරීමේ කාලය ඉතිරි කර ගත හැක.
අනෙක් අතට 66 වගන්තියේ නඩු ඉඩම් සම්බන්ධ ආරවුලකි. මෙම නඩුව ඉඩම් නඩුවට සම්බ්න්ධ කොට එක නඩුවක් ලෙස දිසා අධිකරණයේ විභාග කල හැකි අතර මෙමගින් කාලයද , මුදල්ද ඉතිරි කර ගත හැක.

බොහෝ රටවල නඩුවේ ලේඛන අන්තර්ජාලය භාවිතා කොට පැමිණිල්ල , උත්තරය , විරෝධතා ආදී නඩුවේ විභාගයට පෙර සියලු පියවර ඔන්ලයි ක්‍රමය ඔස්සේ සිදුවේ. ලංකාවේ මෙම ක්‍රමය යම් මට්ටමකින් මුලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක වන අතර කම්කරු ව්නිශ්ච්ය සභාව මගින් පවරා පවත්වා ගෙන යනු ලබන කාම්කරු නඩු වලදී තැපැල් මගින් අදාල ලේඛන අධිකරණයට ගොනුකිරීමේ අවසර ලබා දේ. මෙම ක්‍රමය මගින් අධිකරණයේ කාලය බෙහෙවින් ඉතිරි වේ.

දැනට පවතින නීතිය අනුව සිවිල් නඩුවක පැමිණිල්ල හෝ පෙත්සම නඩුවේ විභාගයට පෙර යම් යම් සීමාවන්ට යටත්ව ඕනෑම වාර ගණනක් සංශෝධනය කල හැක. පැමිණිල්ලක් සිවිල් අධිකරණයට ගොනුකොට පළමු වරට කැඳවීමට මාස තුනක කාලයක් ගත වේ. ඇතැම් විට නඩුවේ විත්තිකරුවන් කිහිප දෙනෙක් සිටි නම් ඔවුන් කැඳවා ගැනීමට ලියා පදිංචි තැපැල් මගින්ද එම සිතාසියට ප්‍රතිචාර නොදක්වන්නේ නම් අධිකරණයේ පිස්කල් මගින්ද, එයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් පදිංචි නිවසේ දොරේ අලවා සිතාසි භාර දීම කල යුතුය. ඇතැම් විට විත්තිකරු විදේශ ගතව සිටියහොත් තත්වය තවදුරටත් ව්යාකූල වේ. එසේ වුවහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විදේශයට භාර දිය යුතුය. බෝහෝ අවසථාවල විදේශ ගත විත්තිකරුට සිතාසි භාර ගැනීම ඉතා පහසුවෙන් මග හැරිය හැක. එසේ වුවහොත් පවතින සිවිල් නීතිය අනුව නඩුව පැමිණිලිකරුට පවත්වා ගෙන යා නොහැක. මෙය දික්කසාද නඩුවක් නම් පැමිණිල්ලට සිදුවන අගතියට වග කියන්නේ කවුද? පැමිණිලි කරුගේ හෝ කාරියගේ වයස් ගතවීම හේතුකොට ගෙන නව විවාහයක් කර ගැනීමේ අවසථාව අහිමි වී යනු ඇත. නඩුව පවතින අවසථාවක පැමිණිලිකරු නැවත විවාහ වුවහොත් බහු විවාහය යටතේ අපරාධ චෝදනාවට ලක් වන අතරම දෙවන විවාහය නීතිය ඉදිරියේ අවලංගු විවාහයක් බවට පත්වේ. එකී දෙවන විවාහයේ දරුවන් අවජාතක දරුවන් බවට පත්වේ. මෙයට සරල විසඳුම් දෙකක් ඇත. එනම් ,

1.විදේශ ගත හෝ සොයා ගත නොහැකි විත්තිකරුවන්ට අධිකරණයේ නඩුවක් පවතින බවට පුවත් පත් දැන්වීමක් සහ රජයේ ගැසට් පත්‍රයේ පල කිරීම මගින් සිතාසි භාර දුන් බවට නීතිය සංශෝධනය කල යුතුවේ

2. දෙවන ක්‍රමය නම් විදේශ ගතවන සෑම පුද්ගලේයෙකුම විදේශ ගත වීමේදී ගුවන් තොටුපලේදී පුරවන ලබන පිටවන පෝර්මයේ විදේශ ගතව සිටින කාලය තුල සිතාසි භාර දිය හැකි ලංකාවේ ලිපිනයක් , විදේශගත ලිපිනය සහ ඒ මේල් ලිපිනයක් ලග ගෙන එය පරිගණක ගත කර නඩුවක් පවතින අවස්ථාවක එම ලිපිනයට සිතාසි නිකුත් කල හැකි වන සේ නීතිය සංශෝධනය කල හැක.

සිවිල් අධිකරණයේ නඩුවේ විභාග අවසථාවට පෙර නඩුවේ පියවර එනම් පැමිණිල්ල , පැමිණිල්ල සංශෝධනය , උත්තරය , ප්‍රති උත්තරය , විරෝධතා යන කැඳවීම අවසථා ඔන්ලයින් ( online) මගින් කල හැකි ක්‍රම වේදයක් සකස් කල හැක. මෙය ලංකාවේ ක්‍රියාත්මක කිරීමේදී ගැටළු කිහිපයක් මතු විය හැක. මේ සඳහා එක් එක අධිකරණ සඳහා විශේෂිත පරිඝනක මෘදුකාංග සකස් කල යුතුවේ. මෙය අඩු වියදමකින් සකස් කිරමට ලංකාවේ පරිගණක සම්බන්ධ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් , විශව විද්‍යාල උගතුන්ගේ සහයෝගය ලබා ගත හැක. මෙය ලෝකයේ පිළිගත් ක්‍රමයක් වන අතර මේ සඳහා අපගේ නීතිය සංශෝධනය කල යුතු වේ .රුපියල් මිලියනක වඩා අඩු මුදලකින් මෙම පරිගණක මෘදකාංගය සකස් කර ගත හැක. එක අධිකරණයට පරිගණක 10 ක් සහ පරිගණක ක්‍රියාකරුවන් 10 දෙනෙකු, එක පරිගණක අලුත්වැඩියා කරන්නෙක් මේ සඳහා යොදා ගත හැකි අතර දැනට සිටින සේවකයන්ටම මේ සඳහා පුහුණුව ලබා දිය හැක. නීතිඥ ප්‍රජාවට මේ සම්බන්ධ අවශ්‍ය පුහුණුවක් ලබා දිය හැකි අතර එක් එක් පියවර සඳහා පෙර අයකරනු ලබන ගාස්තුව පරිගණක මගින් උත්ත්රවාද ගොනුකිරීම සඳහා අයකිරීමට අවසථාව ලබා දීමෙන් නීතිඥ ප්‍රජාවෙන් මතුවන විරෝධය නතර කල හැකි වනු ඇත.

පැමිණිල්ලක් සංශෝධනය කිරීමට සිදුවන්නේ පැමිණිල්ලේ නිසි අංග විධිමත් පරිදි ඉදිරිපත් නොකළ අවසථාවකය. දැනට සිවිල් නඩුවක පැමිණිල්ලට නිසි ආකෘතියක් අනුගමනය කරන්නේ නැත. නමුත් අපගේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ එක් එක් නඩු සඳහා පැමිණිල්ල , උත්තරය සහ අනෙකුත් ලේඛන සම්බන්ධයෙන් ආකෘතියක් ඇතත් එය ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා පෙර මා සඳහන් කල පරිගණක මුදුකාංගය සකස් කිරීමේදී එක් එක් නඩු වර්ගය සඳහා වෙනම ආකෘති පත්‍රයක් සකස් කල යුතුය. උදාහරණයක් ලෙස දික්කසාද නඩුවක පැමිණිල්ලේ අවශ්‍ය විය යුතු අංග ප්‍රශ්න වශයෙන් සකස් කොට ආකෘති පත්‍ර සකස් කොට පරිගණක මෘදුකාංගයට ඇතුලත් කල යුතුය. ඒ අනුව ඒ ඒ නඩුව සඳහා ඒකකාරී ආකෘති පත්‍රයක් සකස් කිරීමෙන් නඩුවේ සංශෝධන අවම කොට නඩුව ඉක්මනින් විභාග කල හැකි වනු ඇත. නඩුවට අදාල විශේෂිත අවසථාවල කරනු ලබන ඉල්ලීම් ( මෝෂන් පත්‍ර) අධිකරණයේ අඬනොගසා ඔන්ලින් මගින් පාර්ශවයනට අවශ්‍ය ලේඛන ගොනුකිරීමට අවසථාව ලබා දී අවශ්‍ය නියෝගය විනිසුරුවරයා විසින් අදාල පරිගණක ඊ ගොනුවේම නියෝගයක් කල හැක. මෙය ලෝකයේ පිලිගත් විශ්වාශදායක ක්‍රමයකි. මෙමගින් දැනට පවතින නඩු ප්‍රමාදය තුනෙන් එකක ප්‍රමාණයක් ඉවත් කල හැක.

මෙම ක්‍රමය ලංකාවේ සිවිල් අධිකරණ ක්‍රමය තුල ක්‍රියාත්ක කිරීමට වැයවන අතිරේක මුදල රුපියල් මිලියන 50 කට වඩා අඩුය.නමුත් මිට වඩා මුදලක් මේ තුලින් රජයට ලබා ගත හැකි ආකාරයට මෙය සකස් කල හැක. උදාහරණයක් ලෙස නඩුවේ පාර්ශවයනට හෝ නීතිඥ තැනට තමන්ගේ නඩුවේ ඊ ලිපිගොනුව ඕනෑම අවසථාවක බලා ගැනීමට මුදලක් අයකළ හැකි අතර නීතිඥ වරුන්ටද තමන්ගේ කාර්ය බහුල තාවයට ඉතාම හොඳ විසඳුමකි. අදාල ඊ ගොනුවේ ප්‍රවේශය අදාල පාර්ශවයනට පමණක් සිමා කිරීමට අදාල පරිගණක මෘදකාංගය පහසුවෙන් සහ අරක්ශාකරිව සකස් කල හැක.

ලංකවේ මෙම ක්‍රමය අත්හදා බැලීමට කොළඹ දිසා අධිකරණයේ දික්කසාද නඩුවලට පමණක් මෙම ක්‍රමය පළමුව උපයෝගී කර බැලිය හැක. මෙය සියයට සියයක් සාර්ථක ක්‍රමයක් වන අතර අවශ්‍ය වන්නේ නීතිය සංශෝධනය කර නීතිය ක්‍රියාත්මක කිරීමයි.

අනෙක් අතට සංශෝධනය ලක්විය යුතු තවත් අංශයක් වන්නේ නීතිඥ ප්‍රජාවගේ ගාස්තු සම්බන්ධයෙනි. විශේෂයෙන් වට්ටම් ක්‍රමයට නීතිඥ ගාස්තු අයකිරීම ලංකවේ තහනම් වේ. එනම් නඩුව අවසානයේ තම සේවාදායකයට ලැබෙන වන්දි මුදලෙන් යම් කොටසක් අනාගතයේ නඩුවෙන් ජයග්‍රහණය කල පසු සේවදයකයාගෙන් නඩු ගාස්තුව ලබා ගැනීමේ ක්‍රමයයි. මෙම ක්‍රමය මගින් නඩුව පැවරීමට සහ නඩු පවත්වා ගෙන යාමට සේවාදායකයා තම නීතිඥයාට මුදල් ගෙවිය යුතු නැති අතර නඩුව ජයග්‍රහණය කළහොත් පමණක් ලැබෙන වන්දි මුදලින් කොටසක් සිය නීතිඥයාට ගෙවීමේ ක්‍රමයයි. විශේෂයෙන් වන්දි නඩු ( රථවාහන අනතුරු හා වෙන වන්දි නඩු ) සඳහා පමණක් මෙය කල හැකි අතර මෙමගින් අනවශ්‍ය නඩු එනම් පදනමක් නොමැත නඩු අධිකරණයට ගොනුවීම වැලැක්විය හැකි අතරම සැබවින්ම මුදල් නොමැත නඩු නිමිත්තක් ඇති ජනතාවට යුක්තිය ලබා ගැනීමට ඇති අවකාශ පුළුල් කල හැක. මෙම ක්‍රමය මගින් නීතිඥයන්ද තම නඩුව ඉකමනින් අවසන් කිරීමට පෙලෙබෙනු ඇත.

නඩු ප්‍රමාදය අවම කිරීමට ඉදිරියේ කවදා හෝ මෙම පියවර අනුගනය කිරීමට සිදුවන නිසා මෙම සංශෝධනයන් වෙත වහ වහා ක්‍රියාත්මක කිරීම මගින් ජනවතාවට විශාල සහනයක් වනු ඇත.

courtesy : lawpage.lk


More News »