සමාජ අවබෝධයෙන් ගිලිහුණු ළමා ලිංගික අපරාධ නීති

2018-03-09 10:46:00       546


දරුවන් සම්බන්ධ අපරාධ අපේ ජන සමාජයේ ඉතා සංවේදීව සලකකා බැලෙන කාරණයකි. නමුත් දරුවන් සම්බන්ධ අපරාධ කොතෙක් දුරට අපගේ නීතිය මගින් සුරක්ෂිත කර ඇත්ද යන්න පිළිබඳව ජන සමාජය තුළ ඇත්තේ මඳ අවබෝධයක් බව පෙනෙන්නට ඇත. එහිදී නීතිය සහ අදාළ අංශයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇති අවබෝධය සහ දැනුම බොහෝ දෙමාපියන් හෝ සමාජ ක්‍රියාකාරීන් තුළ නොමැති බව පෙනී යන්නේ දරුවන් හට සිදුවන යම් නීතිවිරෝධී ක්‍රියාවන් වැරදි ලෙස නොගෙන ඒවා බලාත්මක කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම පෙනෙන්නට ඇති බැවිනි.

ළමයින් සම්බන්ධ සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන්ම නීතියෙන් සහන ලැබිය යුතු අංශයක් ලෙස ලිංගික හිංසනයන් දැක්විය හැක. එහිදී දරුවන් නීතිය නොදැනීම මෙන්ම වැඩිහිටියන්ගේද නීතිය පිළිබඳ ඇති සාක්ෂරතාව මඳ බව හේතුවෙන් දරුවන් බොහෝ ලිංගික අපරාධයන්ට ගොදුරුවන බව පෙනෙන්නට ඇත. මෙහිදී අපගේ දණ්ඩනීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය වෙත ප්‍රථමයෙන් අවධානය යොමු කිරීම මගින් ඉතා සුළු ක්‍රියාවක් වුව ලිංගික අතවර කිරීම නමැති දණ්ඩනයට යටත් විය හැකි බව පෙන්වා දෙයි. මෙම වගන්තිය අනුව යම් තැනැත්තකුට වචනයෙන් හෝ ක්‍රියාවෙන් සහ කුමන හෝ ආකාරයකට මෙම ලිංගික අතවරය කළ හැකි බව දක්වා ඇත.

2006 අංක 16 දරන සංශෝධනය මගින් දණ්ඩනීති සංග්‍රහයට එක් කළ පරිදි මෙම ලිංගික අතවර කිරීමෙන් ඇතිවූ හානි යන්නට මානසික කම්පනයන්ද ඇතුළත් බව එක් කිරීම තුළින් මෙම වගන්ති මගින් ආවරණය කරනු ලබන පුළුල් වූ රාමුව අවබෝධ කරගත හැක. සමාජය දෙස බැලූ කල දරුවන් හට මේ ආකාරයෙන් බොහෝ ලිංගික අඬන්තේට්ටම්වලට ලක්වන බව පෙනෙන්නට ඇත. නිදසුනක් ලෙස යම් වචනයකින් හෝ දරුවකු වෙත කරනු ලැබූ ලිංගික ප්‍රයත්නයක් මෙම වගන්තිය ඔබගේ වරදක් ලෙස ගැනෙන අතර ඒ සඳහා වසර පහක කාලයකට බන්ධනාගාරගත කිරීමක් සහ දඩයක්ද, එකී හානිය (මානසික කම්පනය) වෙනුවෙන් අධිකරණය මගින් නිශ්චිත කරන ලද වන්දි මුදලක්ද, ලබාදීමට බලයක් ලබාදී තිබිමට මෙම වගන්තිය යටතේ ලබාදී ඇති නීතිමය ආවරණය මනාප පෙන්වයි.

අද සමාජයෙහි ප්‍රවෘත්ති දෙස බැලීමේදී ඉතා ආසන්නයෙන් ප්‍රචලිත වූ තවත් එක් සිදුවීමක් වූයේ දරුවන් සිය භාරකාරත්වයෙන් පැහැර ගැනීමට උත්සාහ දැරීමයි. එනම් මෑත කාලීනව සිදුවූ එක් සිදුවීමකට අදාළව දරුවකු සිය මිත්තණිය සමග හෝ පාසල අවසන් වී පාසලෙන් එළියට එන අවස්ථාවේදී යම් පුද්ගලයකු විසින් පැහැර ගැනීමට උත්සාහ දැරීම අසල තිබූ සීසීටීවී කැමරාවල පටිගත වී තිබුණි. ඒ අනුව මෙම පුද්ගලයා දණ්ඩනීති සංග්‍රහයේ 352 වගන්තියේ ඇති වරදක් කර ඇති බවට පැහැදිලිව පෙනී යයි.

වයස අවුරුදු 14ට අඩු පිරිමි දරුවකු හෝ වයස 16ට අඩු ගැහැනු දරුවකු හෝ යම් සිහිවිකල වූ එම වයස් කාණ්ඩවල බාලවයස්කරුවකු භාරකරුගේ කැමැත්ත නොමැතිව ගෙන ගියහොත් මෙම වරද කළා යැයි සැලකෙන අතර ඒ සඳහා 354 වැනි වගන්තිය යටතේ අවුරුදු 7ක කාලයකට බන්ධනාගාරගත කිරීමක් හා දඩය පැනවිය හැක. මෙම දණ්ඩන කාලය ලබාදිය හැකි අනෙකුත් වැරදි වනුයේ බිලි පූජා දීම සඳහා ළමුන් පැහැරගෙන යාම හෝ අයුතු ලෙස සිරකර තැබිමට පැහැරගෙන යෑම යන කාරණා වේ. එහිදී යම් පුද්ගලයෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉහත ක්‍රියා සඳහා දරුවන් යොදාගත්තද ඒවාට ලැබිය හැකි දණ්ඩනයන් නොදැනීමෙන් මෙකී ක්‍රියා සුළු දඬුවම් ලබාදිය හැකි ක්‍රියා ලෙස සලකා කටයුතු කරනු ලබයි.

දරුවන් සම්බන්ධව ගත් කල අප සමාජයේ දැක්විය හැකි තවත් සුලභ සිදුවීමක් වන්නේ යම් අයකු විසින් වහල්කමට හෝ යම් අස්වභාවික කාමාශාවන් සංසිඳුවා ගැනීමට දරුවන් පැහැරගැනීමයි. මෙහිදී බොහෝ විට පිරිමි දරුවන් පැහැර ගැනීම සුලබව දැකිය හැකිය. මෙහිදී බොහෝ ගම්බද පළාත්හි තනිව වෙසෙන පිරිමි දරුවන් සිය ළඟම ඥාතියාගේ හෝ අසල්වැසියාගේ ගොදුරක් බවට පත්වනු දැකිය හැකිය. මේ සම්බන්ධව වගන්ති 258 යටතේ වසර 10ක් දක්වා කාලයකට දඬුවම් ලබාදීමට හැකිවීම බොහෝ අපරාධකාරීන් විසින් නොදන්නා කරුණකි.

මෙවැනි අපරාධයකදී එකී දරුවාගේ සාක්ෂියේ ප්‍රබලතාව මත පිහිටා අධිකරණය කටයුතු කරන අතර එකී සාක්ෂි සදහා වැඩි වටිනාකමක් ලබාදීමද සිදු කෙරේ. නමුත් එවැනි බොහෝ අපරාධ සමාජයෙන් පිටතට නිරාවරණය වීම බොහෝවිට සිය පවුල් පසුබිම තුළින්ම වළක්වාලීම දැකිය හැකිය.

තවත් අපගේ දණ්ඩනීති සංග්‍රහයෙහි විග්‍රහ කර ඇති වරදක් ලෙස කුට්ටනය කිරීමේ වරද හඳුනාගත හැක. 360 (1) වගන්තියට අනුව වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු (ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව) අයුතු ලිංගික සංසර්ගයෙහි යෙදීම අරමුණු කොට ලංකාව හැරයාමට කුට්ටනය කිරීම හෝ ලංකාවෙන් පිටත සිටින අයකු ලංකාවට ගෙන්වීමට කුට්ටනය කරන්නකු හට වසර 2 සිට 10 කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් දඬුවම් කළ හැක. මෙම වගන්තියට අදාළ වැරදි බොහෝ විට අපගේ සංචාරක කලාප ආශ්‍රිතව බහුලව සිදුකරනු ලබන බව පෙනී යයි. සංචාරක මගපෙන්වන්නන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් විදේශිකයන් හට දරුවන් විකිණීම පිළිබඳ තොරතුරු බොහෝවිට අසන්නට ලැබේ. එවැනි ක්‍රියා වැළැක්වීමට තරම් වූ ප්‍රබල නීති රාමුවක් මෙම වගන්තිය මගින් සකසා ඇතත් එය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප සමාජය තුළ ඇති බව පැහැදිලි නොවේ.

ශ්‍රී ලංකාවේ ගම්බද සමාජයන් තුළට පැමිණෙන යම් යම් පිටස්තර පුද්ගලයන් දිළිඳු පවුල් වෙත උදව් කිරීමේ අවශ්‍යතාව පෙන්වා එම පවුල්වල සිටින දරුවන් ලිංගික අපයෝජනයන්ට යොදාගැනීමට පෙලඹීම තවත් සුලබ සිද්ධියකි. මෙහිදී එකී පවුල් වෙත මුදලින්, භාණ්ඩ හෝ වෙනත් ප්‍රතිලාභ ලෙස ලබාදීම් කිරීම දැකිය හැක. නමුත් අවසානයේ මෙය නතර වන්නේ අදාළ පවු‍ලේ දරුවකු ඔවුන්ගේ ගොදුරක් බවට පත්කර ගැනීමෙනි. මෙයද නීතිය පිළිබඳ නොදැනුවත් භාවය නිසා බොහෝ මාපිය භාරකරුවන් විසින් නිශ්ශබ්දව සිටින්නා වූ තවත් අවස්ථාවකි. මෙවැනි අපරාධ සඳහා වසර 5 සිට 20 දක්වා කාලයකට සිරදඬුවම් සහ දඩ මුදලකට යටත් කිරීමට හැකියාව පවතී. තවද මෙම වගන්තිය යටතේ දරුවන් ශීලාචාර නොවන ප්‍රදර්ශනයකට යොදා ගැනීමද, එවැනි දර්ශන මුද්‍රණ කරවීමද යම් මාධ්‍යයකින් ප්‍රචාරය කිරීමද ඉහත දඬුවම්  ඒ ආකාරයෙන්ම ලබාදිය හැකි අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.

ඉහත දැක්වූ වගන්තීන්ට අමතරව යම් වයස අවුරුදු 18ට අඩු තැනැත්තකු ලිංගික අපයෝජනය කිරීම සඳහා ඇවිටිලි කිරීමද වසර 10කට සහ දඩයකට යටත් කිරීමට බලතල ලබාදී ඇති වගන්තියක් ලෙස 360 (ඉ) වගන්තිය හඳුනාගත හැක. මෙහිදී යම් ලිංගික හිංසනයක් කිරීම අවශ්‍ය නොවන අතර එසේ කිරීමට ඉල්ලීමක් කිරීම ප්‍රමාණවත් බවට මෙම වගන්ති මගින් දක්වා ඇත. ඒ අනුව යම් ලිංගික කාර්යයක් කිරීම සඳහා ඇවිටිලි කිරීම ප්‍රමාණවත් වීම තුළින් ඉතා සියුම් වැරදි පවා ආවරණය කර තිබෙනු පැහැදිලිව දක්නට ඇත.

තවත් එක් බරපතළම ලිංගික අපරාධයක් ලෙස ද.නි.ස. වගන්ති 365 (1) (ඉ) මගින් හඳුනාගෙන ඇති වයස අවුරුදු 18ට අඩු ස්ත්‍රියක් දූෂණය කිරීම දැක්විය හැක. මෙම වරද සඳහා වසර 10 සිට වසර 20 දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමක් සහ දඩ මුදල් සහ වන්දි මුදල් පැනවීමේ බලයද අධිකරණය වෙත ලබාදී තිබේ. බොහෝ අවස්ථාවලදී මෙවැනි අපරාධයන්ට ලක්වන තරුණියන් නීතිය වෙත පැමිණීමට මැලිකමක් දක්වන නමුත් එවැනි පැමිණීම් මගින් තවත් අයකුට විය හැකි අපරාධයක්  වැළකිය හැකි බවට ඔවුන් වෙත අවධාරණය කිරීම සමස්ත සමාජයේම යුතුකමක් බවටද මතක තබාගත යුතුය. බොහෝ ස්ත්‍රී දූෂණ සමාජයේ කතිකාවට භාජනය වුවද ඒවා සුළු කලකින් නැවතී යන බව පැහැදිලිය. එම කාල පරිච්ජේදය තුළදී නැවත එවැනි අපරාධ ඉස්මතු වීමේ ප්‍රවණතාවක් පවතී.

එනිසා එම නිහඬ කාල පරිච්ජේද තුළද එකී සමාජ කතිකාවන් ගෙන යාම මගින් මෙවැනි බරපතළ අපරාධ සිදුවීම අවම කරගත හැක.

දරුවන් සම්බන්ධව ගැනෙන නීතිය යටතේ දත යුතු අනෙකුත් ප්‍රධානතම අපරාධයක් වනුයේ බරපතළ ලිංගික අපයෝජනයයි. එහිදී 365 (අ) වගන්තියට අනුව යම් ලිංගික තෘප්තියක් ලබාගැනීම සඳහා ලිංගේන්ද්‍රිය හෝ ශරීරයේ කොටසක් යම් තැනැත්තකුගේ ශරීරයේ යම් කොටසකට පාවිච්චි කිරීමෙන් මෙවැනි අපරාධ සිදුකළ හැක. එහිදී වයස අවුරුදු 18ට අඩු තැනැත්තකු සමග සිදුකරනු ලබන එවැනි ක්‍රියා සඳහා වසර 07 සිට වසර 20ක් දක්වා කාලයකට සිරදඬුවම්, දඩ මුදල් සහ වන්දි ලබාදීමට අධිකරණයට බලය ලබාදී ඇත. මෙහිදී පිරිමි දරුවන් හෝ ගැහැනු දරුවන් සම්බන්ධව පාසල් කාලය තුළදී සහ පෞද්ගලික පන්ති ආශ්‍රිත කාලයන් තුළදී සිදුවන ලිංගික අපරාධ මෙම ගණයෙහි බොහෝ විට පෙනෙන්නට ඇත. එහිදී බොහෝ දෙමාපියන් නොදැනුවත්වම දරුවන් අපයෝජනයට ලක්වීම තවත් ඛිෙදනීය තත්ත්වයකි.

ඉහත දැක්වූ බොහෝ අපරාධ වළක්වා ගැනීම දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ගේද යුතුකමක් හා වගකීමකි. නමුත් සමහර සිදුවීම් පිළිබඳ අනාවරණය වනුයේ එකී සිදුවීම්වලින් වසර ගණනාවකට පසුවය. සමහර සිදුවීම් එසේ අනාවරණය වන්නේම නොමැත. ඒ අනුව තම දරුවාට වඩා සමීපව කටයුතු කිරීම මගින් මෙවැනි අපරාධ වළක්වාගත හැක. දෙමාපියන් හෝ භාරකරුවන් විසින් මෙහිදී අදාළ ප්‍රදේශයන්හි ළමා හා කාන්තා කාර්යංශ පිහිටුවා ඇති ‍පොලිස් ස්ථාන හෝ ළමා හා කාන්තා කාර්යංශ (දු.අ. 1929) දැනුවත් කිරීම මගින් වඩාත් ඵලදායී නීතිමය සහනයක් ලබාගත හැකිය.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »